බදුල්ල දිස්ත්‍රික්කය පුරා පැවති අධික වර්ෂාව සමඟ පස් කඳු ගල් සහ ගස් කඩාවැටීම් කණ්ඩි කඩා වැටීම් සහ මාර්ග ගිලා බැසීම හේතුවෙන් ‍ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් අවහිර වී තිබෙනවා.

දැඩි වර්ෂාව සමඟ පස් සහ ගල් ගස් කඩාවැටි පස්සර නමුනුකුල මාර්ගය, පස්සර බඩල්කුඹුර මාර්ගය, පස්සර මඩොල්සිම මාර්ගය , ඇල්ල නමුනුකුල මාර්ගය බදුල්ල ස්ප්රින්වැලි මාර්ගය බදුල්ල කඳන මාර්ගය ඇල්ල කුබල් වෙල මාර්ගය, එගොඩවෙල මඩුගස්තලාව මාර්ගය මෙලෙස අවහිර වී ඇති බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්. එල් උදය කුමාර මහතා
සඳහන් කර සිටියේ.

අවහිර වු එම මාර්ග කඩිනමින් ගමනාගමනය සඳහා විවෘත කිරීමට බදුල්ල ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ට හැකි වූ බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්. එල් උදය කුමාර මහතා වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර ගිරාඳුරුකෝට්ටේ උල් හිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගත යුතු මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු හතම මීටර් බින්දුවයි දශම තුන බැගින් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවෝ පියවර ගැනීමත් සමඟ ගිරාදුරු කෝට්ටේ රත්කිඳ කෝසුව ජලයෙන් යටවීම නිසා එම මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර පස්සර ලුණුගල මාර්ගයේ කිලෝමීටර් 142 කණුව ආසන්න ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ තීරෝද රථයක් මතට ගසක් කඩා වැටී තීරෝද රථයට දැඩි හානි සිදුවී ඇති අතර එහි රියදුරු බේරී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

මේ වනවිට පවතින ආපදා තත්ත්වය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් එකසිය තුනක පුද්ගලයින් 410 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පසුවේ.