සිරදඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ අනුව ඔහු සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම බන්ධනාගාරයේ වාට්ටුවක රැඳවිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔහුට ද සිරකරුවන් වෙත ලබාදෙන ජම්පරය ද ලබා දි තිබෙනවා.
දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කෙරුණා.
ඒ, එක් එක් නඩුවකට වසර හතර බැගින් සිර දඬුවම් නියම කරමින්.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කර තිබුණා.




