අත් අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයකු බව කියන දිසානායක දේවගේ දිසානායක නොහොත් "පස්දේවා" නමැත්තා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ සැකකරු දින 90 ක් කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් එම කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය වෙත දැනුම් දී තිබෙනවා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පස්දේවා" නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාට අයත්ව තිබූ හෝටලයකින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 440 ක් හා ජීව උණ්ඩ කීපයක් සොයාගත් බව සඳහන් කළා.

මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විදෙස්ගතව සිට ඇති බව සඳහන් කළ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ තොරතුරු ආරංචි වී කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා කෝපයට පත්ව දුරකතන මගින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට තර්ජනය කර තිබෙන බවත් සඳහන් කර සිටියා.

කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකරු විසින් සිදුකර තිබෙන අපරාධ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව සඳහන් කළ පොලිසිය ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළා.