ධාරා ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය අනුව දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා දැදුරු ඔය ජලාශයේ අඩිය බැගින් ඊයේ විවෘත කළ වාන් දොරටු අට දැන් අඩි 2 ක් දක්වායි විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් දැදුරු ඔයට නිකුත් වන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 10,400 ක් වනවා.

ඒ අනුව දැදුරුඔය ජලාශයට පහලින් දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාව විශේෂයෙන් දැදුරුඔයෙහි ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වනවා.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් ද විවෘත කර තිබෙනවා.

ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද එලෙස විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 3,800 කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතිනවා.

මේ අතර පෙරවරු 9.00 වන විට වාන් දොරටු මගින් නිකුත් කරන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 8,000 දක්වා දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරියේදී ජලාශයේ පෝෂක ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනය අනුව සහ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන්ද වෙනස් විය හැකි බැවින් රාජාංගන ජලාශයට පහළ කලා ඔය ගංගා ද්‍රෝණිය අවට පදිංචි ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරන අංශ මගින් විටින් විටින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම මෙන්ම ගංගාවේ ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වනවා.