ආපදාවට පත්වූ ප්‍රදේශවලින් ලද දුරකථන ඇමතුම්වලින් වාර්තා වූ බිඳවැටීම් 72%ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වනවිට රෝහල්වලට අවශ්‍ය විදුලිබල සැපයුමෙන් 90%කට පමණ විදුලිය සම්පාදනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත වලට අනුව රට තුළ සිදුව ඇති ආපදා හේතුවෙන් විදුලිබල සැපයීමට වැඩිම හානිය සිදුව ඇත්තේ බදුල්ලට හා මධ්‍යම පළාතටයි.

මධ්‍යම පළාත තුළ විදුලිබල සැපයුමට විශාල හානියක් සිදුව තිබෙනවා.

විදුලිය සම්ප්‍රේෂණ කිරීම හා බෙදාහැරීමේ රැහැන් පද්ධතියට ද දරුණු ලෙස හානි සිදුව ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ඇතැම් ස්ථානවල අලුතින්ම ට්‍රාන්ස්ෆෝමර් සවිකිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබුණා. හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට කටයුතු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

කෙසේ වෙතත්, කොටුගොඩ උප විදුලි පොළ තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලයට අද සිදු වූයේ මහජනයාගේ හා සේවකයාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්.