දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කවිදු ලක්‍ෂාන් මහතා පැවසුවේ.

''පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.''