Published
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සශින්ද්‍ර රාජපක්ෂ මහතා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව නඩු විභාගයට අදාලව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් කරුණු දැක්වීම් සිදු කළේ මහේස්ත්‍රත්වරියගේ මැදිරිය තුළයි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මහවැලි අධිකාරියට අයත් කිරි ඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් 2022 වසරේ මැයි මස 09 වනදා පැවති අරගලයේ දී ගිනි තබා විනාශ කර අති බව සඳහන් කළා.
අදාල ඉඩමට මේ දක්වා සැකකරුට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ඔවුන් සඳහන් කළා.
මෙම සැකකරු එම ඉඩමේ රැඳී සිටි මනෝජ් ඒකනායක නමැත්තා මාර්ගයෙන් වන්දි ඉල්ලා අයදුම් පතක් ඉදිරිපත් කර ඇති අතර එම ඒකනායක නමැත්තාට වන්දි වශයෙන් රුපියල් 8850000 මුදලක් ලැබුණු බවත් එම වන්දි මුදල මෙම සැකකරු විසින් ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කළා.
අදාල ඉඩමට තමන්ට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව දැන දැනම මෙම සැකකරු විසින් අදාළ වන්දි මුදල ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.
අදාල ොඩනැගිල්ල රජයේ ඉඩමක පිහිටක් තිබෙන බැවින් වන්දි ප්‍රදානය කළ නොහැකි බවට නිලධාරීන් ප්‍රකාශ කළද මෙම සැකකරු සිය නිල බලය උපයෝගී කරගනිමින් හානිපූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදුකර එම කාර්යය ඉටුකර කිරීම සඳහා පෙළඹවීම් සිදුකර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් කියා සිටියා.
එය දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නමැති වරද සිදු කිරීමක් බවත් ඔවුන් සඳහන් කළා
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරක් සිදුවන බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත ඇති බවයි කියා සිටියේ.
දූෂණ විරෝධී පනත හා පොදු දේපල පනත යටතේ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අතර පොදු දේපළ පනත යටතේ මෙම සැකකරුට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහතිකයක් ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.
ඒ අනුව අදාළ සැකකරු පොදු දේපල පනත යටතේ මෙම නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ හෝ දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව සඳහන් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ ඉඩමේ සිය සේවා දායකයා විසින් අනවසර ඉදිකිරීමක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම ප්‍රකාශ කළත් ඊට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති අතර සඳහා වෙනත් නීතිමය ප්‍රතිපාදනයක් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
එමෙන්ම තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේද කටයුතු කළ නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාළ වන්දි මුදල ලබාගෙන තිබෙන්නේ ඒකනායක නැමැති පුද්ගලයෙකු බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව තම සේවා දායකයා විසින් අදාල වන්දි මුදල ලබා ගැනීමක් සිදුකර නොමැති නිසා ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට නොහැකි බවත් සඳහන් කළා.
තම සේවා දායකයා විමර්ශනවලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් ඔහුට එරෙහිව පෙර වැරදි හෝ වෙනත් නඩු නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඔහු කිසිදු අවස්ථාවක මෙම සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති නිසාත් මේ අවස්ථාව වන විට සැකකරුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කර නොමැති නිසාත් තම සේවා දායකයා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.