පකිස්තානයේ පන්ජාබ් පළාතේදී සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කරච්චි නගරයේ සිට පෙෂාවර් බලා ගමන් කරමින් තිබූ ‘රෙහ්මාන් බාබා එක්ස්ප්රස්‘ දුම්රිය මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මුල්තාන් ෂර් ෂා පාලම අසලදී අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
අනතුර හේතුවෙන් දුම්රියේ මැදිරි 14 ම පීලි පැන තිබෙනවා.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා මුල්තාන්හි නිෂ්තාර් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පොලිසිය සහ ගලවා ගැනීමේ සේවකයින් එක්වයි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කළේ.
අනතුරින් මියගිය අය සම්බන්ධයෙන් පකිස්තාන අග්රාමාත්ය ෂෙබාස් ෂරීෆ් සිය බලවත් කණගාටුව ප්රකාශ කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය කාලය තුළද පකිස්තානයේ ප්රධාන පෙළේ දුම්රිය අනතුරු කිහිපයක්ම සිදුවූ බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ.




