බටහිර -මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ තද සුළං ද ඇති විය හැකියි.

මේ අතර ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනය ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර, ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.