ආපදා හේතුවෙන් රටේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය පිළිබද මෙතෙක් නිවැරදි තක්සේරුවක් නොමැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඔහු කියා සිටියේ ලබන සතියේදී ලෝක බැංකුව විසින් යටිතල පහසුකම්වලට සිදුවූ හානිය පිළිබද තක්සේරුවක් ලබා දීමට නියමිත බවයි.

මේ අතර, රට තුළ සිදුවූ ආපදා තත්ත්වය සහ ඊට සහන සැලසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේත් අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කළේ ආපදා කළමණාකරණයේදි ආණ්ඩුව මන්දගාමි ලෙස කටයුතු කළ බවයි.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ වගා හානි වූ ගොවීන් බහුතරයකට ඊට අදාළ වන්දි ගෙවීම සිදුවෙමින් ඇති බවයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසුවේ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආපදා සහන මෙහෙයුම් සම්බන්ධයෙන් අසත්‍ය සමාජගත කරමින් සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ද විවාදයට එක් වුණා.