දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තරුණියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය පැවසුවේ.

අදාළ වෑන් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ගමන් කර තිබෙනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ තවලම, වීරපාන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ඊශ්‍රායලයේ රැකියාව කළ පුද්ගලයෙකු යළි මෙරටට පැමිණීම හේතුවෙන් ඔහු රැගෙන ඒම සඳහා වෑන් රථයේ පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යමින් සිටියදී එලෙස අනතුරට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථය ගැටී ඇත්තේ සුපිරි වෙළඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදිරියෙන් ධාවනය වූ අධි ශීතකරණ ලොරියකයි.