ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 97ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 210ක් ලබා ගත්තා.

ඉන්දීය කාන්තා කණ්ඩායමේ වෙනුවෙන් දක්ෂ පිති හරඹයක යෙදුණු ස්මිර්ති මන්දනා පන්දු 62ක් තුළදී හයේ පාරවල් 03ක් සහ හතරේ පහරවල් 15ක් සමගින් ලකුණු 112ක් රැස්කළා.

එම ශතකයක් සමඟ ඉන්දියාව වෙනුවෙන් ආකෘති ත්‍රිත්වය යටතේම ශතක ලබා ගත් පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්මිර්ති මන්දනා ඉන්දිය වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11කට හිමිකම් කියනු ලබනවා.

210ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දු වාර 14යි පන්දු 05ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 113ක් පමණි.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම ලැබූ එම පරාජය සැලකෙන්නේද ඔවුන් ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරඟය ලෙසයි.