වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඊයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් වෙඩික්කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලිෆෝනියාවේ පදිංචිකරුවෙකු ලෙස හදුනාගෙන ඇති ඔහු 31 වන වියේ පසුවන "කෝල් තෝමස් ඇලන්" නමැත්තෙක්.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සතුව ගිනි අවි දෙකක් සහ පිහි කිහිපයක් තිබී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
ඔහු වෙඩිතැබීම සිදුවූ වොෂින්ටන් හිල්ටන් හෝටලයේම නවාතැන් ගෙන සිටි අයෙකු බවයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ.
මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මෙම සැකකරුට එරෙහිව ෆෙඩරල් අධිකරණය හමුවේ හෙට (සඳුදා) නඩු පැවරීමට නියමිතව තිබෙනවා.
අපරාධයක් සදහා ගිනි අවි යොදාගැනීම සහ ෆෙඩරල් නිලධාරීන්ට එරෙහිව විනාශකාරී අවි යොදාගනිමින් ප්රචන්ඩත්වය පෑම සහ පහරදීම යන චෝදනා යටතේ ඔහුට මෙලෙස නඩු පවරන බවයි වොෂින්ටනයේ නීතී ප්‍රධානි ජෙනී පයිරෝ පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරියෙකු තුවාල ලැබූවා.
ඔහු මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවයි රෝහල් පරිපාලනය පැවසුවේ.
වෙඩි වැදීම සිදුවන අවස්ථාවේ ඔහු ආරක්ෂක වැස්මක් (Body armour) පැළඳ සිටීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගොස් ඇතැයි වෛද්‍යවරු පැවසුවා.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු හෝටලයේ ආරක්ෂක පරීක්ෂණ කලාපය පසුකර දිවයන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒවා ඔහුගේ සමාජ මාධ්‍යන් හි පළ කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ජනාධිපති ධුරය යනු අවදානම් සහිත රැකියාවක් බව තමා හොඳින් දන්නා බවයි.
තමා කිසිසේත් කලබලයට පත් නොවන බවත්, රට වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට තමා සූදානම් බවත් ඔහු අවධාරණය කළා.
තවද, මෙම වෙඩි තැබීම හේතුවෙන් නතර වූ උත්සවය දින 30ක් ඇතුළත නැවත පැවැත්වීමට තමා උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.




