ලෝක අත්ලැතික්ස් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ ලෝක ශූර රුමේෂ් තරංගට මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් ටර්කිෂ් ගුවන් සේවයෙන් (Turkish Airlines) කරුණු විමසා තිබෙනවා.

​වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ ලේකම්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් සහ ටර්කිෂ් ගුවන් සේවයේ නියෝජිතයින් අතර ඊයේ (15) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සිවිල් ගුවන්සේවා අධිකාරි පරිශ්‍රයේදීයි.

​එහිදී රුමේෂ් තරංගට ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය පිළිබඳව ටර්කිෂ් ගුවන් සේවා නියෝජිතයින් සිය කණගාටුව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

​සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමටත්, සිදුවූ හානිය පිළිබඳ නිසි ඇගයීමක් සිදුකර එම හානිය කඩිනමින් ප්‍රතිපූර්ණය කිරීමටත් අදාළ ගුවන් සේවා ආයතනය මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා.