Gen Z තරුණ කණ්ඩායම් පෙරමුණ ගෙන මෙහෙයවන උණුසුම් විරෝධතා අතරතුර ඇල්බේනියානු පාර්ලිමේන්තුවේ ද ගැටුම් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති නවතම දර්ශන වලින් පෙනෙන්නේ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් වචන සංවාදවලින් නොනැවතී පාර්ලිමේන්තු සභාවේදී ගුටිබැට ද ඇන ගන්නා ආකාරයයි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය සහ රජයේ ප්‍රධාන කාර්යාල අසල තවදුරටත් උණුසුම් උද්ඝෝෂණ සිදුකෙරෙමින් තිබෙනවා.

මේ නිසා ඇල්බේනියානු අග නගරය ටිරානා හි ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩ පණවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

විපක්ෂ ක්‍ රියාකාරීන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග වලට සහ පාලක සමාජවාදී පක්ෂයේ (Socialist Party) අල්ලස් හා දූෂණ ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණ සිදුකෙරෙමින් තිබෙනවා.

උද්ඝෝෂකයන් විසින් පොලිස් බාධක ද බිඳහෙළීමට උත්සාහ කර ඇති අතර ඔවුන් පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

මෙහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තාවනවා.

එසේ තිබියදී උද්ඝෝෂකයන් පවසන්නේ රට තුළ සිදු වෙමින් තිබෙන දූෂණය නතර කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අතුරු රජයක් පිහිටුවන තෙක් තම විරෝධතා නතර නොකරන බවයි.

“අපගේ සටන ජනතවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන්. දූෂිත පාලනය අවසන් වන තෙක් අප පසුබට වන්නේ නැහැ” යනුවෙන් උද්ඝෝෂකයන් සමග එක්වූ ඇල්බේනියානු ප්‍රජාතනත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ෆ්ලමූර් නොකා (Flamur Noka) ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින උද්ඝෝෂකයන් 27 දෙනෙකු වහාම නිදහස් කිරීමට ටිරානා අධිකරණය විසින් නියෝග කර ඇති බවයි ඇල්බේනියානු දේශීය ප්‍රවෘත්ති සේවා පවසන්නේ.

පොලිසිය කරන ලද අත්අඩංගුවට ගැනීම් 18ක් නීතිවිරෝධී බවද අධිකරණය මෙහිදී ප්‍රකාශ කළේ යැයි එම මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

නිදහස් කිරීමට නියෝග කෙරුණු සෙසු පුද්ගලයින් 9 දෙනා සම්බන්ධයෙන් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පොලිසිය වෙත නිතිපතා පෙනී සිටිය යුතු බවයි.

උද්ඝෝෂකයන්ට එරෙහිව නීතිවිරෝධී රැස්වීම් සහ විරෝධතා සංවිධානය කිරීම හා ඒවාට සහභාගී වීම, මහජන සාමය රකින පොලිස් නිලධාරීන්ට ප්‍රතිරෝධය දැක්වීම සහ ඇතැම් අවස්ථාවලදී දේපළවලට හානි කිරීම යන චෝදනාව යටතේ පොලිසිය නඩු ගොණු කර තිබුණා. එලෙස ගොනු කරන ලද නඩු සලකා බලන ලද දවස්ථාවේදී යි අධිකරණය ඉහත නියෝගය කර ඇත්තේ.