සෙංකඩගලපුර අස්ගිරි මල්වතු උභය මහා විහාරීය චාරිත්‍ර වාරිත්‍ර සියවස් තුනකට ආසන්නව පැවත ගෙන එනු ලබයි. ඒ අනුව "අස්ගිරි මහා විහාරය හා ශ්‍රී දළදා මාලිගාව", "මල්වතු මහා විහාරය හා දළදා මාලිගාව", "අස්ගිරි මල්වතු උභය මහා විහාරයන් දළදා මාලිගාව" සහ "අස්ගිරි මල්වතු උභය මහා විහාර" යන ආකාරයට එම චාරිත්‍ර බෙදීයයි. අද දින සිදු කරන්නට යෙදුණ පෙනුම් ගමන් චාරිත්‍රය අතිශය වැදගත් උභය මහා විහාරයේ සමගිය හා සහෝදරත්වය විදහාපාන චාරිත්‍රයකි. උභය මහා විහාරයේ එක් විහාරයක මහානායක හෝ අනුනායක ථානාන්තරයක් පුරප්පාඩු වූ කල්හී සංඝ සභාව පොහොය සීමාවට රැස්ව අභිනව නායක හිමිනමක් පත්කර ගත් පසු එම පණිවුඩය සහෘද අනෙක් මහා විහාරය දැනුවත් කිරීමේ චාරිත්‍රානුකූල ගමන මෙම “පෙනුම් ගමන් චාරිත්‍රය” ලෙස හඳුන්වයි. අස්ගිරි මහා විහාරයට අභිනවයෙන් පත්වී වදාළ නාරම්පනාවේ ශ්‍රී ආනන්දාභිධාන ශ්‍රීමත් අනුනායක හිමිපාණන් පත් කරගත් වග නිළ වශයෙන් අදදින මල්වතු මහා විහාරයට දැනුම්දීම සිදුකරනු ලැබීය. ඒ අනුව අස්ගිරි මහා විහාරීය මහා සංඝරත්නය සාම්ප්‍රදායික දැහැත් වට්ටියක් සකසා ගනු ලබයි. මහා විහාරයේ අභ්‍යන්තර පන්සල් වලදී එම දැහැත් වට්ටිය සකසන අතර මෙහිදී බුලත්, පුවක්, රන්කිරියා මල්, රන් කිරියා අල, සාදික්කා ගෙඩි සමග කොළ, සාදික්කා ඇට, සාදික්කා වසාවාසී, කරාබු රෑන් කොළ සමග අතු, එනසල් කරල්, කොට්ටපොල්, සිංහල දුම්කොළ, හුණු, අමු ඉගුරු පියලි, වියළි ඉගුරු පියලි, සූදුරු, මහදුරු, තිප්පිලි කරල් සහ කප්පර වල්ලිය අතු කැඹලි යන ද්‍රව්‍ය බන්දේසියකට සකසා ගන්නා අතර පට ලේන්සුවකින් වසාගත් එම දැහැත් වට්ටිය අස්ගිරි මහා විහාරයේ සිට මහනුවර නගරය මධ්‍යයෙන් පේළියකට මල්වතු මහා විහාරය වෙත ගමන් කරනු ලබයි. එහිදී මල්වතු විහාරීය මහා සංඝරත්නය විසින් පා දෝවනාදී පූර්වකෘත්‍යයන් සිදුකොට අස්ගිරි මහා විහාරයෙන් වැඩම කළ මහා සංඝරත්නය ගෞරවයෙන් යුතුව පිළිගනු ලබයි. මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයට එදින මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නයද රැස්වන අතර එකත් පසෙක අස්ගිරි මහා විහාරීය සංඝරත්නයද, අනෙක් පස මල්වතු මහා විහාරීය සංඝරත්නය වාඩිවෙනු ලබයි. (සංඝරත්නය මධ්‍යයයේ දැහැත් වට්ටි තැම්පත් කරනු ලබයි) මෙහිදී අස්ගිරි විහාරීය ජේෂ්ඨ හිමි නමක් (අනු නායක හිමි නමක්) මල්වතු විහාරයට, ආනමඩුවේ දම්මදස්සී අනු නායක හිමියන් අපවත් වූ හෙයින් පුරප්පාඩු වූ අනුනායක පදවියට නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක හිමියන් පත්වූ වග දැනුම් දෙනු ලැබීය. ඉන්පසු එම මහා සංඝරත්නයට මල්වතු මහා විහාරයෙන් දැහැත් ගිලන්පස පිළිගන්වනු ලබයි. පසුදා මල්වතු මහා විහාරයේ සියළුම මහා සංඝරත්නය සාම්ප්‍රදායික දැහත් වට්ටියක් සකසාගෙන පළමු පිළිවෙලට මහනුවර නගරය මැදින් අස්ගිරි විහාරයට වැඩම කරනු ලබයි. එහිදී මල්වතු මහා විහාරීය මහා සංඝරත්නයේ පා දෝවනය ආදී පූර්වකෘත්‍යයන් සිදුකොට අස්ගිරි මහා විහාරීය සංඝරත්නය විසින් පිළිගනු ලබයි. පෙරසේම අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දෙපස උභය මහා විහාරීය සංඝරත්නය වැඩ හිඳියි. එහිදී අහිනවයෙන් පත්වූ අස්ගිරි අනුනායක හිමියන්ට මල්වතු විහාරයේ සුභාශීර්වාද පිරිනමා ජයපිරිත් සජ්ඣායනය කොට ආශීර්වාද සිදු කරයි. ඉන්පසු අස්ගිරි මහා විහාරයේ මහා සංඝරත්නය වැඩමවූ මල්වතු මහා විහාරීය මහා සංඝරත්නයට දැහැත් ගිලන්පස ආදිය පිළිගන්වනු ලබයි. මෙම චාරිත්‍රයම අනෙක් පසට මල්වතු විහාරයේ නව නායක ථානාන්තරයක් පත්වූ විගස මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය පෙනුම් ගමන් පැමිණ අස්ගිරි මහා විහාරීය සංඝරත්නය බැහැ දැක දැනුම් දිම සිදු කරයි. රටක ජාතිකයක ඉතිහාසය එම රටට ආවේණික වූ පැවතගෙන ආ චාරිත්‍රයන් වර්තමාන පරපුර පවත්වාගෙන යෑම අනිවාර්යයෙන්ම සිදු කලයුතු චාරිත්‍රයකි. අපගේ ඉපැරිණි චාරිත්‍ර විධි මතු උප නූපන් පරපුරට දායාද කරනු වස් සහ අවබෝධය පිණිස මෙසේ මෙම සටහන තැබූ වගයි.