පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ఖාන් තවදුරටත් බන්ධනාගාරගතව පසුවන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහීම හේතුවෙන් 73 හැවිරිදි වියෙහි පසුවන ඒ මහතාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඔහුගේ පුතුන් ප්‍රකාශ කර සිටියි.

'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත සංවිධානය කළ අන්තර්ජාල මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන සුලෙයිමාන් සහ කාසිම් ඛාන් චෝදනා කළේ, ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකින් පරීක්ෂා කිරීමටත්, පවුලේ අයට නිතිපතා ඔහුව හමුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පාකිස්ථාන රජය විසින් පැහැර හැර ඇති බවයි.

හුදකලා සිරදඬුවම් විඳිමින් සිටින ඉම්රාන් ඛාන් රාත්‍රී කාලයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ රජයේ රෝහලකට ගෙනගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට රජය ප්‍රකාශ කළද, පුතුන් දෙදෙනා එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

"මේ වන විට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව, ඔහුට බන්ධනාගාරය තුළ ජීවත්වීමට ඇති ඉඩකඩ ඉතා අවමයි," යනුවෙන් කාසිම් ප්‍රකාශ කළේය. ඉම්රාන් ඛාන්ගේ නීතිඥ ජැරඩ් ජෙන්සර් සඳහන් කළේ, දැනට පවතින සිරගෙදර තත්ත්වය සෙමින් සිදුකරන මිනීමැරුමකට සමාන වන බවයි.

රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීමෙන් පසුව, ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් දේශපාලනඥයෙකු බවට පත් වූ ඉම්රාන් ඛාන්2023 වසරේදී බන්ධනාගාරගත කෙරිණි. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ නීතිඥවරයාට අනුව, හිටපු අගමැතිවරයා දිනකට පැය 23 ක් පුරා ස්වාභාවික ආලෝකය නොලැබෙන, මීටර් 1.8 ක සහ මීටර් 2.4 ප්‍රමාණයේ කුඩා සිරමැදිරියක රඳවා තබා ඇත.