Published
ඉකුත් දා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අදාල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළා.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සම්පත් මනම්පේරි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින බව සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළව සිය සේවා දායකයාගේ සහෝදරයා වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවත් නීතිඥවරයා පැවසුවා
අත්අඩංගුවේදී තම සේවා දායකයාගේ සොහොයුරා දැඩි වද හිංසනයන්ට භාජනය වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව තම සේවා දායකයාගේ 78 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
තම සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් ඔහු නිසි මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බවත් නීතිඥවරයා පැවසුවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශන නිලධාරින් විසින් ඔහු වධ හිංසාවන්ට භාජනය කිරීමට හැකියාවක් තිබෙන බවට ඔහු තුළ භීතියක් පවතින බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවා දායකයා දන්නා සියලු දේ ප්‍රකාශ කිරීමට සූදානම් බවත් සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විමර්ශන අවස්ථාවලදී පෙත්සම්කාර සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ලෙස පොලිස්පතිවරයාට නියම කළා.
එසේම මෙම පෙත්සංකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් යටතේ සිටින විමර්ශන නිලධාරින් දැනුවත් කරන ලෙසත් පොලිස්පතිවරයාට කළ එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 16 වන දා කැඳවීමටද නියම වුණා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත උතුර විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ පොලිස්පතිවරයා නම් කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින තමන්ව වධ හිංසාවන්ට හා හිරිහැරයන්ට භාජනය කිරිම වැළැක්වීමේ නියෝගයක් විමර්ශන නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සම්පත් මනම්පේරි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාදීකරණයට ඉදිරිපත් කර තිබුණා.




