නාවලපිටිය වරකාව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා ඒ හරහා බස් රථයක් ධාවනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ඇප මත මුදාහැර තිබෙනවා.
ඉකුත්දා මෙම බස් රථය ගිනිගත්හේන, ලක්ෂපාන ප්රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය කර තිබුණා.
බස් රථය වරකාව දුම්රිය හරස් මාර්ගය අසළට පැමිණෙන විටත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබූ අතර බස් රථ රියදුරා ප්රතිවිරුද්ධ දිශාවේ රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
බස් රථය එම ස්ථානයෙන් පිටත් වී සුළු වේලාවකින් මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන්ගත් මගී ප්රවාහන දුම්රිය පිටත්ව ගොස් තිබුණා.
අදාළ සිදුවීම අසළ තිබූ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුවයි ඔහු නාවලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ.