නේපාලය සහ චීනයට අයත් ටිබෙට් සීමාසන්න කලාපයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නේපාල බලධාරීන් තහවුරු කරන්නේ තම රට තුළ පමණක් පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 2,400 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

අතුරුදහන් වූවන් අතර විදේශිකයින් 320 දෙනෙකු ද වන බව නේපාල සංචාරක මණ්ඩලය නිවේදනය කරනවා.

මේ අතර ටිබෙට් කලාපයෙන් ද මරණ 16 ක් වාර්තා වන අතර 540 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ.

ගංවතුර හේතුවෙන් නිර්මාණය වූ තාවකාලික ජලාශයේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් බැස යමින් පවතින බව චීන බලධාරීන් ප්‍රකාශ කළ ද, ප්‍රදේශයේ තොරතුරු ලබාගැනීමට පවතින සීමාසහිත බව හමුවේ ටිබෙට් කලාපයේ සිදුවූ හානියේ සැබෑ තරම තක්සේරු කිරීම තවදුරටත් අභියෝගයක් වී තිබෙනවා.

අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද නේපාල සහ චීන ආරක්ෂක අංශ එක්ව අතුරුදහන් වූවන් සෙවීමේ සහ විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.