හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට කිසියම් පුද්ගලයෙකු පහර දී තිබෙනවා.

පහර දීම සිදුකර ඇත්තේ රෝගියෙකු බැලීමට රෝහලට පැමිණි පුද්ගලයෙකු බවටයි තොරතුරු තිබෙන්නේ.

මෙම පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇති බවයි, එම අවස්ථාවේදී ඔහු සහ රෝහලේ වෛද්‍යවරයෙකු අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි, එය සමථ කිරීම සඳහා පොලිස් සැරයන්වරයා සහ රෝහලේ තවත් ආරක්ෂක නිලධාරිනියක මැදිහත් වී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී චෝදනාවට ලක්වන පුද්ගලයා ආරක්ෂක නිලධාරිනිය තල්ලු‍ කරදමා පොලිස් සැරයන්වරයාට පහර දී ඇති බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පහර දීමෙන් පසු පහර දීම කළ පුද්ගලයා පලා ගොස් තිබෙනවා.

මෙම පහර දීමෙන් පොලිස් සැරයන්වරයා තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා ඔහු හොරණ රෝහලටම ඇතුළත් කර සිටින බවයි සිද්ධිය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පවසන්නේ.

පහර දීම සිදුකළ බවට චෝදනාවට ලක්වන පුද්ගලයා බුලත්සිංහල, කහටගහමාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශන සිදුකරන්නේ හොරණ මූලස්ථාන පොලීසියයි.