ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හයවන දිනටත් දැඩි වෙමින්, දෙපාර්ශවයම එකිනෙකා වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඉරානය විසින් අසල්වැසි ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් නවතම ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඇමරිකානු බලධාරීන් ද එක රැයකින් ඉරානය පුරා පිහිටි ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් දෙරට අතර පැවති මූලික සාම එකඟතාවන් බිඳ වැටීමේ තර්ජනයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන නාවික ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා තමන් පැය හයක දැවැන්ත ප්‍රහාර මාලාවක් ඉරානයේ ස්ථාන කිහිපයකට එල්ල කළ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර සිටිනවා.
ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලයට අනුව, බන්දර් අබ්බාස් වරාය නගරය සහ ග්‍රේටර් ටුන්බ් දූපත ඇතුළු ඉරානය පුරා පිහිටි අණදෙන මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂණ පද්ධති සහ වෙරළ ආරක්ෂණ පහසුකම් මෙලෙස ඇමරිකාවේ ඉලක්ක බවට පත්වුණා.
මේ සමඟම ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර ඇතුළු ප්‍රදේශ රැසක ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවත්, විශාල පිපිරීම් හඬ ඇසුණු බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරනවා.
මීට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කළේ තමන් ජෝර්දානය, කුවේටය සහ බහරේනය යන රටවල පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
එහිදී ජෝර්දානයේ පිහිටි ඇමරිකානු සන්නිවේදන පද්ධති සහ ඉන්ධන ගබඩා ඉලක්ක කරගත් බව ඉරාන හමුදාව පවසනවා.
මෙම ප්‍රහාරයන් හේතුවෙන් කුවේටය ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කළ බව පවසන අතර, බහරේන රජය සිය පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඉරානයට අනතුරු අඟවමින් කියා සිටියේ වහාම සාකච්ඡා මේසයට නොපැමිණියහොත් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවයි.
කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගාලිබෆ් කියා සිටියේ තම රටට වාසි නොවන කිසිදු එකඟතාවකට අවනත වීමට ඉරානයට අවශ්‍යතාවක් නොමැති බවයි.
පසුගිය මාසයේ දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අත්හිටුවමින් ඇමරිකාව විසින් නැවතත් ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න වුණා.
මේ හේතුවෙන් ලෝකයේ ඉතා වැදගත් නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇති අතර, මේ නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම දැඩි යුදමය වටපිටාව මධ්‍යයේ වුවද, 2024 දෙසැම්බර් මාසයේ සිට ඉරානයේ රඳවාගෙන සිටි ඩෙනා කරාරි නැමැති ඇමරිකානු කාන්තාව නිදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇයගේ නීතිඥවරයා මේ බව තහවුරු කර ඇති අතර, ට්‍රම්ප් මෙය ඉරානය විසින් පෙන්වූ යහපත් හිතකාමී පියවරක් ලෙස ඇගයීමට ලක් කර තිබෙනවා.



