දෙරට අතර පවතින උපායමාර්ගික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ඉන්දියාවට ලබාදෙන පොහොර සැපයුම තවදුරටත් ඉහළ නැංවීමට රුසියාව සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඉන්දියාවේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි පෝෂක/පොහොර ප්‍රමාණයක් සැපයීමට රුසියාව සූදානම් බව එහිදී ජනාධිපති පුටින් පැහැදිලි කළේය.
"ඉන්දීය ගොවීන් සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. අපි මෙම සැපයුම් වැඩි කරමින් සිටින අතර ඉදිරියටත් එය තවදුරටත් සිදු කිරීමට සූදානම්," යනුවෙන් පුටින් පවසා ඇත.
ඉන්ධන මෙන්ම පොහොර ද ඉන්දියාවට රුසියාවෙන් ලැබෙන ආර්ථික සහයෝගීතාවයේ වැදගත් සංරචකයක් ලෙස ඔහු මෙහිදී විශේෂයෙන් පෙන්වා දුන්නේය.
"ඉන්ධන පමණක් නෙවෙයි, ඛනිජ පොහොර සැපයීමත් මෙහි එක් වැදගත් කාරණයක්. ඉන්දීය ගොවීන් වෙනුවෙන් සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මෙම ගැටලුව විසඳීමට අපි උපරිමයෙන් කටයුතු කරනවා. අපි මෙම අපනයනයන් ඉහළ නංවා ඇති අතර එය දිගටම කරගෙන යාමට සූදානම්," යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියාව සහ රුසියාව අතර ආර්ථික සබඳතාවලදී පොහොර ප්‍රධාන සාධකයක් බවට පත්වෙමින් තිබියදී මෙම යෝජනාව පැමිණීම විශේෂත්වයකි. විශේෂයෙන්ම යූරියා ඇතුළු පොහොර ඉන්දියාවට සපයන ප්‍රධානතම රට බවට රුසියාව පත්ව සිටින අතර, 2025 වසරේදී රුසියාවෙන් ඉන්දියාවට සිදුකළ පොහොර ආනයනය සියයට 40 කින් පමණ ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මාසයේදී ජනාධිපති පුටින් නවදිල්ලි නුවර සිදුකළ සංචාරයේදී ද පොහොර ක්ෂේත්‍රය දීර්ඝකාලීන සහයෝගීතාව සඳහා වන කලාපයක් ලෙස හඳුනාගෙන තිබුණි. එහිදී දීර්ඝකාලීන සැපයුම් තහවුරු කරගැනීමට පියවර ගැනීම සහ ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා විය. මීට අමතරව, දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳාමේ සිදුවෙමින් පවතින පුළුල් වර්ධනය පිළිබඳව ද ජනාධිපති පුටින් මෙහිදී අවධානය යොමු කළේය.



