කොළඹ මහනගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සඳහා පැවති උණුසුම් ඡන්ද විමසීමෙන් පසු සභාවේ කටයුතු අද පළමු වරට ආරම්භ වුණා.

ඒ, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වනේ.

කෙසේවෙතත් අදත් විපක්ෂයේ පාර්ශවයෙන් එහිදී විරෝධයක් එල්ල වුණා.

කොළඹ මහනගර සභාවේ අද පැවති රැස්වීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසා සිටියා.

මේ අතර හොරණ නගර සභාව සඳහා සභාපති ධූරය ජාතික ජන බලවේගයට අද හිමි වුණා.

සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම හොරණ නගර සභාවේ මන්ත්‍රීවරුන් දහ තුන්දෙනෙකුගේ සහභාගිත්වයෙන් හොරණ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වුණේ පළාත් පාලන කොමසාරිස් සාගරිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතාගේ සහ පොදු විපක්ෂය වෙනුවෙන් තිලකසිරි රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වුණා.

හොරණ නගර සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීම සදහා පවත්වන්නේ රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න තීරණය කිරීමට මන්ත්‍රීවරුන්ගෙන් මත විමසා සිටි අතර එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රහස් ජන්දයක් ඉල්ලා සිටියා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ විවෘත ජන්දයක්.

මන්ත්‍රීවරුන් එක මතයකට නොපැමිණීම හේතුවෙන් කොමසාරිස්වරිය සභාපතිවරයා පත්කර ගැනීම රහස් ජන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන්න තීරණය කිරීමට රහස් ඡන්දයක් පැවැත් වීමටයි පසුව සිදු වුණේ.

එහිදී රහස් ඡන්දයකට එකඟව මන්ත්‍රීවරුන් අට දෙනෙකු ද විවෘතව ඡන්ද විමසීමට පස්දෙනෙක ුද මනාපය පළ කර තිබුණා.

පසුව තීරණය වුණේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම රහස් ඡන්දයකින් විමසීමටයි. මෙහිදී පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට තමන් අකමැති බව පවසමින් සභා ගර්භයෙන් පිටව ගියා.

එහෙත් එක් මන්ත්‍රීවරයකු පමණක් සභා ගර්භය තුළ රැදී සිටි අතර මෙහිදී ඝණපූර්ණය සම්පූර්ණ වීම හේතුවෙන් රහස් ජන්දයක් පැවැත් වුණා.

එහිදී හතට බිංදුවක් ලෙස ජන්ද ලබා ගනිමින් හොරණ නගර සභාවේ නව සභාපතිවරයා ලෙස අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා පත් වුණා.

මේ අතර හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයට හිමි වුණා.

ඒ, එහි මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ හැටන් දික්ඔය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත් වූ අවස්ථාවේදීයි.

එම සභාවේ උප සභාපති ධූරය හිමි වූයේ ලංකා කම්කරු කොංග්‍රසයටයි.