මැදපෙරදිග යුද්ධය හමුවේ පිලිපීනය ලොව ප්‍රථම වරට ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, මැදපෙරදිග අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම හමුවේයි.

ඒ අනුව පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරානයට එරෙහි ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම මුහුදු ගමන් මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය‘ අවහිර වුණා.

පිලිපීනයට අවශ්‍ය තෙල්වලින් 98%ක්ම ගල්ෆ් කලාපයෙන් ආනයනය කරන බැවින්, එරට ඩීසල් සහ පෙට්‍රල් මිල මේ වන විට දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා.

එරට ජනාධිපති මාකෝස් පවසන්නේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ ආර්ථිකය ආරක්ෂා කිරීමට මෙම හදිසි නියෝගයට අත්සන් කළ බවයි.

සිය රට තුළ දැනට පවතින ඉන්ධන තොග දින 45කට පමණක් ප්‍රමාණවත් බවත් එම කාලය අවසන් වීමට පෙර අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඇත්තේ විශ්වාසක් පමණක් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙම නව නියෝගය යටතේ රජයට සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට බලය ලැබෙන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කිරීමට විශේෂ කමිටුවක් ද පත් කරනු ඇති.

මෙම හදිසි තත්ත්වය වසරක කාලයක් සදහා බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

කෙසේ වෙතත්, රජයේ මෙම තීරණයට වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

එරට කම්කරු සන්ධානය චෝදනා කරන්නේ මෙය රජයේ අසාර්ථකත්වය වසා ගැනීමට ගත් උත්සාහයක් බවයි.

විශේෂයෙන්ම, මෙම නියෝගය හරහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ වැඩවර්ජන මර්දනය කිරීමට රජය උත්සාහ කරන බවටයි ඔවුන් බිය පළ කර ඇත්තේ.

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රවාහන සේවකයින් එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දෙදින වැඩවර්ජනයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන බදු ඉවත් කරන ලෙසත්, මිල පාලනයක් ඇති කරන ලෙසත්ය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පිලිපීන රජය මේ වන විටත් රාජ්‍ය සේවකයින් සඳහා සිව්දින වැඩ සතියක් හඳුන්වා දී තිබෙනවා.

ඉහළ ගිය ස්වාභාවික වායු ගෑස් මිල හේතුවෙන් තාවකාලිකව ගල්අඟුරු බලාගාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ද පිලිපීනය තීරණය කර අවසන්.

මේ අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවකට ඉරානය සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ටෙහෙරානයේ කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බවත් ඉරානයේ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරක්ෂක නිලධාරියෙකු පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා ඉරානය විශේෂිත කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇති බවයි.

සතුරා විසින් සිදු කරනු ලබන ”ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන” සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවයි ඉරානය පවසන්නේ.

ඉරානය මත නැවත යුද්ධයක් පටවනු නොලබන බව සහතික කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව ඉරානයේ තවත් කොන්දේසියක් වනවා.

එමෙන්ම යුද්ධයෙන් සිදු වූ හානි සඳහා සහතික කරන ලද සහ පැහැදිලිව නිර්වචනය කරන ලද වන්දි ගෙවීමක් සිදු කළ යුතුද වනවා.

කලාපයේ සියලු පෙරමුණු සහ එහි විසිරී සිටින සියලුම ප්‍රතිරෝධී කණ්ඩායම් සඳහා යුද්ධය අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය පිලිබඳව ඉරානයට ඇති පරමාධිපත්‍ය අයිතිය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතික කිරීම් ද ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.