සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. 2016 - 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවයි. ඒ අනුව රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.