නුවරඑළිය, නානුඔය, බ්ලැක්ෆූල් ප්රදේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු තවත් පිරිසක් සමග පැමිණ නිවසක් අසළ මාර්ගයේ ගාල් කර තිබූ වෑන් රථය පැහැර ගෙන යන බවට වෑන් රථ අයිතිකරු විසින් නානුඔය පොලිසිය වෙත දැනුම් දි තිබුණා.
ඒ අනුව වහා ක්රියාත්මක වූ නානුඔය පොලිසියේ නිළධාරින් මෙහෙයුමක් දියත්කර නානුඔය ප්රදේශයේදීම අදාළ වෑන් රථය පැහැර යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදි වෑන් රථයේ සිටි සෙසු සැකකරුවන් පලාගිය බවයි පොලිසිය පැවසුවේ.
වෑන් රථය අයිතිකරු විසින් වෑන් රථය මිලදි ගැනීමට මුදල් ලබා ගෙන ගිවිසුම් ගත වූ පෞද්ගලික මූල්ය ආයතනයක වාරික ගෙවිම ප්රමාද කල හේතුවෙන් එම මුල්ය ආයතනයේ උපදෙස් මත සැකකරුවන් විසින් මෙම වැන් රථය පැහැර ගෙන යමින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
වෑන් රථෙය් අයිතිකරුට නොදන්වා පොලිසිය වෙත දැනුම්දිමක් නොකර මූල්ය ආයතනයේ තැරැව්කරුවන්ට මෙලෙස වාහන පැහැරගෙන යෑමට නොහැකි බව පොලිස්පතිවරයා විසින් චක්රලේඛයක් නිකුත් කර තිබු පසුබිමකයි මෙම වෑන් රථය පැහැර ගෙන ගොස් ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ෂණ ආරම්භ කරන බවත් නානුඔය පොලීසිය පැවසුවා.




