රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙම පෙත්සම ඉකුත්දා කඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී තිබුණේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධ සංශෝධන තිබේ නම් ඒවා ලිඛිත දේශන මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව නීතීඥවරු සිය ලිඛිත දේශන ඉකුත් බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය අද දෙවන දිනටත් යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ පෙත්සම් 26 ක් ඉදිරිපත් කර තිබෙනවා.