දුර ගමන් සේවා බස් රථ තේ පානය සදහා නවත්වන ආපන ශාලා දෙකක හිමිකරුවන්ට සහ බේකරි නිෂ්පාදන අලවි කිරීම සදහා යොදා ගෙන තිබූ ජංගම රථ දෙකක රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පවරා ඇත්තේ පුත්තලම - තබ්බෝව සහ සාලියවැව ප්‍රදේශ වල ආපන ශාලා දෙකකට සහ එම ප්‍රදේශ වල බේකරි නිෂ්පාදන අලවි කිරීම සදහා යොදා ගෙන තිබූ ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකුටය.

දුර ගමන් සේවා බස් රථ තේ පානය සහ ආහාර ලබා ගැනීම සදහා නවත්වන ආපන ශාලා වල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන ලෙස මගීන් විසින් සෞඛ්‍ය අංශ වෙත දැණුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දුර ගමන් සේවා බස් රථ නවත්වන පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව සහ සාලියවැව ප්‍රදේශ වල පවත්වා ගෙන යන ආපන ශාලා 08 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර ඇති අතර නිසි ක්‍රමවේදයකින් තොරව ආහාර පිළියෙල කිරීම, වැසුම් නොමැතිව කසල බදුන් තබා තිබීම, මැස්සන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි පිසූ ආහාර අලවිය සදහා ගබඩා කර තිබීම යන චෝදනා යටතේ ආපන ශාලා දෙකක හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී කටයුතු කර තිබෙනවා.

බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබූ ත්‍රී රෝද රථ දෙකක්ද මෙම මෙහෙයුමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර ඇත.

එම ත්‍රී රෝද රථ දෙකෙහිම රියදුරන් ආහාර අලෙවි කිරීම සදහා ලබා ගත යුතු වෛද්‍ය වාර්තා ලබා ගෙන නොමැති බව එහිදී අනාවරණය වී ඇත.

මෙම වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

ආපන ශාලා දෙකෙහි හිමිකරුවන්ට ත්‍රී රෝද රථ රියදුරන්ට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ්,
කලාඔය කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන නීල් ජයසිංහ සහ ධම්මික වරුසපෙරුම යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබුණා.