වයඹදිග පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොලක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්, තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සහ සහන සේවා නිලධාරීහු තහවුරු කරති.

ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ මහාමාර්ගයක් ආසන්නයේ ස්ථාපිත පොලිස් මුරපොලක් ඉලක්ක කර මෙම දරුණු ප්‍රහාරය එල්ල වී ඇත.

පොලිස් වාර්තා සඳහන් කරන්නේ මියගිය පිරිස අතර සුරාබදු හා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද වන බවයි.

ප්‍රහාරය සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය වර්ගය සහ ප්‍රමාණය නිශ්චය කරගැනීම සඳහා විශේෂ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට කැඳවා තිබේ.

සිද්ධියෙන් පසුව සහන සේවා කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට ළඟා වූ අතර, තුවාල ලැබූවන්ට ප්‍රථමාධාර සපයමින් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

මියගිය අයගේ සිරුරු සහ තුවාලකරුවන් ආසන්නයේ පිහිටි රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ප්‍රහාරයේ වගකීම තෙහ්රීක්-ඊ-තාලිබාන් පාකිස්ථාන් හෙවත් පාකිස්ථාන තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇත.

2021 වසරේදී ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වූ ඇෆ්ගන් තලේබාන් පාලනයට වඩා වෙනස් සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වුවද, පාකිස්ථාන තලේබාන් කණ්ඩායම ඔවුන් සමඟ සමීප මිත්‍රත්වයකින් පසුවෙයි.