කහවත්ත, පලංසූරියගම ප්‍රදේශයේදී අද පොලීසිය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

ඒ, කහවත්ත, ඇන්දාන ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අතරතුරයි.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්, අදාළ ඝාතනයට චෝදනා එල්ල වී ඇති පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමග ඔවුන් මෙලෙස නොසන්සුන් තත්ත්වයක් ඇති කර ගෙන තිබුණා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ස්ථානයේ රැඳී සිටි නෙත් නිවුස් වාර්තාකරු ලසන්ත නිරෝෂන ගෙන එන වාර්තාවක් දැන්.

කහවත්ත, ඇන්දාන ප්‍රදේශයේදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වුණේ දැඩි කතාබහක්.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවට විශ්වාස කරන බවයි පොලීසිය මීට පෙර පැවසුවේ.

තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් 30 වනදා රාත්‍රියේයි.

ඒ, තමන් රත්නපුර පොලීසියෙන් පැමිණි බව සඳහන් කළ පිරිසක් විසින්.

පසුව කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල නම් ප්‍රදේශයේ පාලු ස්ථානයකදී සිදුකල වෙඩි තැබීමකින් 22 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකු මිය ගියා.