ලබන 25 වනදා පමණ වන විට ශ්‍රී ලංකාවට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාරමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාරමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කළුතර, මාතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙසයි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ පිළිබද විමසිලිමත් විය යුතු බවයි.