මැදපෙරදිග කලාපයේ යුද නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින් බහරේනයට සහ ජෝර්දානයට දරුණු ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රාහාරවල වගකීම භාරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු, අවි ගබඩා සහ සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයකට තමන් සාර්ථක ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම ප්‍රහාර සමග වහාම ක්‍රියාත්මක වූ බහරේන රජය, එරට වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර සිය ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල හතරක් සාර්ථකව විනාශ කළ බවයි ජෝර්දාන ආරක්ෂක අංශ පවසන්නේ.

එසේ තිබියදී ප්‍රහාරය එල්ල කළේ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරමින් බවත්, එසේ නොමැතිව තමන්ට ජෝර්දාන රජය හෝ එරට ජනතාව සමඟ කිසිදු සතුරුකමක් නොමැති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියා සිටියා.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී එල්ල කරන ලද තවත් ප්‍රහාරයකින් සිය තෙල් ප්‍රවාහන නෞකා දෙකකට හානි සිදු වී ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු හමුදාව පිට පිටම තුන්වන දිනටත් ඊයේ රාත්‍රියේ ඉරානයේ මිලිටරි ඉලක්ක සහ මිසයිල හා ඩ්‍රෝන අඩවි වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානයට ඉතා දරුණු ලෙස තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි.

මේ අතර කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1.9 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 87 ක් ලෙසයි.