ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මධ්‍යම යුරෝපා රාජ්‍යයක් වන ස්ලෝවැකියාවේ සිදුකළ ඓතිහාසික සංචාරය අතරතුර, දෙරට අතර සබඳතා ‘සමස්ත සාධක සහයෝගීතාවක්’ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

මෙහිදී ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයක ස්ථාවර සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පූර්ණ සහය පළ කිරීමට ද ස්ලෝවැකියාව එකඟ වී ඇත.

පසුගිය සඳුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කෙරිණි.

වත්මන් භූ-දේශපාලනික යථාර්ථයන් වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආරක්ෂක කවුන්සිලය ඇතුළු බහුපාර්ශ්වීය ආයතනවල පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ හදිසි අවශ්‍යතාව දෙපාර්ශවයම එහිදී අවධාරණය කළහ.

ආරක්ෂක කවුන්සිලයේ ස්ථාවර මෙන්ම ස්ථාවර නොවන සාමාජික කාණ්ඩ දෙකම පුළුල් කළ යුතු බව නායකයෝ පෙන්වා දුන්හ.

"ප්‍රතිසංස්කරණය කරන ලද සහ ව්‍යාප්ත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයක ස්ථාවර සාමාජිකත්වය සඳහා ඉන්දියාව ඉදිරිපත් කරන ඉල්ලීමට ස්ලෝවැකියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය ඉන්දියාවේ ඇගයීමට ලක්විය," යනුවෙන් එම ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය වෙනුවෙන් පෙනී සිටින බව යළිත් තහවුරු කළ අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය ෆිකෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගෝලීය සංසදයන්හිදී ඉදිරියේදී වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකඟත්වය පළ කළහ.