අෆ්ගනිස්තාන භූමිය තුළ කිසිදු හමුදා ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් පාකිස්තානයට අනතුරු අඟවා තිබේ. එමෙන්ම, තලේබාන් පාලනය සහ ඉස්ලාමාබාද් අගනුවර අතර පවතින මතභේද විසඳීම සඳහා මැදිහත් වන ලෙස ඔහු සෞදි අරාබියෙන් ඉල්ලා සිටියි.

Al Arabiya පුවත් සේවයට අදහස් දක්වමින් මුජාහිඩ් සඳහන් කළේ, තලේබාන් සංවිධානය සවුදි අරාබිය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

අෆ්ගනිස්තානයේ නැවත ගොඩනැඟීමේ කටයුතු මෙන්ම සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා රියාද් පාලනය දක්වන දායකත්වය තමන් සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

තලේබාන් සංවිධානය සහ පාකිස්තානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය අවම කිරීම සඳහාද සවුදි අරාබියට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය කාලය තුළද තලේබාන් සංවිධානය සහ පාකිස්තානය අතර පැවති මතභේද විසඳීම සඳහා සෞදි අරාබිය මැදිහත් වී ඇත. ඒ අනුව, පසුගිය වසරේ පෙබරවාරි 17 වන දින සෞදි අරාබියේ මැදිහත්වීමෙන්, දේශසීමා ගැටුම් අතරතුරදී තලේබාන් භාරයට ගැනුණු පාකිස්තාන සෙබළුන් තිදෙනෙකු නිදහස් කිරීමටද තලේබාන් පාලනය පියවර ගත්තේය.