බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට මිලිමීටර් සියයට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනෙන් සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වලවනු ඇතැයි ද ඔහු පැවසුවා.
කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.
මේ අතර ඇදහැළෙන මහ වැසි හමුවේ වාන් දොරටු විවෘත කර ඇති ජලාශ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 6 වන විට ප්‍රධාන ජලාශ 18 ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 18 කද වාන් දොරටු විවෘත කර ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
අද පෙරවරු 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 256.2 පුත්තලමෙන් වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් අද දිනයේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසා දැමුණා. එමෙන්ම පුත්තලම හා අවට ප්‍රදේශ කිහිපයකද මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.
ඒ, වැසි ජලය ගලා බැසීමට ඇති ස්ථාන අවහිරවීම හේතුවෙන්.




