කැනඩාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවට ඇතුළුවන අහිතකර වායු පාලනය කිරීමට කැනේඩියානු බලධාරීන් වහා පියවර ගත යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කැනඩාවේ පැතිරෙමින් තිබෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ ද ප්‍රාන්ත රැසක වායුගෝලය දැඩි ලෙස දූෂණය වී තිබෙන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
අමෙරිකාවට ඇතුළු වන අහිතකර වායූන් වහාම පාලනය කිරීමට කැනේඩියානු බලධාරීන් අපොහොසත් වුවහොත් කැනඩාවට නව වෙළඳ බදු පනවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව කියා සිටියා.
පැතිර යන ලැව් ගිනිවලට හේතුව කැනඩාව ඔවුන්ගේ වනාන්තර කලාප නිසි ලෙස නඩත්තු නොකිරීම බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටින්නේ.
ඒ පිළිබඳ කරුණු විමසීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා ඇමතීමට බලාපොරොත්තු වන බවද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ඩග් ෆෝර්ඩ් පවසන්නේ, ඇමරිකානු දේශපාලඥයන් චෝදනා එල්ල කරමින් සිටිනවා වෙනුවට මේ අවස්ථාවේදී ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා තමන්ට සහාය පළ කළ යුතු බවයි. දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම දෙරටේම වගකීමක් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා ද අවධාරණය කර සිටිනවා.
දැනට කැනඩාව පුරා ලැව්ගිනි 880 කට වඩා සක්‍රීයව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ලැව් ගිනිවලින් බොහෝමයක් පාලනයෙන් තොර වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.
මෙම ලැව් ගිනි හේතුවෙන් නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ඩිට්රොයිට් ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන නගර රැසකද වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පත්ව තිබෙනවා.
මේ නිසා එළිමහන් උත්සව සහ ගුවන් ගමන් රැසක් ද ප්‍රමාද වී තිබෙන බවයි අමෙරිකානු මාධ්‍ය කියා සිටියේ.
එසේ තිබියදී, ඉරිදා දින ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට ද මෙම දුම් වලාවන්ගෙන් බලපෑමක් එල්ල විය හැකි බවට බලධාරීන් සැක පළ කරනවා.
මේ අතර උතුරු ඔන්ටේරියෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් එරට ස්වදේශික ගම්මාන රැසක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර, ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම අළු වී ඇති බවයි නවතම වාර්තා සඳහන් කරන්නේ.




