රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.

සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක් කරමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදුකළා.

පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබාදීමට මහවැලි අධිකාරිය විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ආදිවාසී නායකයා ඇතුළු පෙත්සම්කරුවන් විසින් 2021 වසරේ මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ආදිවාසීන්ට අයත් අදාළ ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බවට මහවැලි අධිකාරිය විසින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාල ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලයින්ට යළි වන වගා සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බව සිහිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වනදා කැඳවන ලෙස නියම කළා.