අයිස් මත්ද්‍රව්‍ය සහ පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු කැලණිය, කොහොල්විල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සොයා ගත් බවයි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පැවසුවේ. සැකකරු තාවකාලිකව පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් 10ක් සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් ද සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද සෙබළෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.