Published
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මහජන වැදගත්කමක් සහිත නඩුකරයන් බැවින් ඒවා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන බව සඳහන් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගන්නා බව නියෝග කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින්
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09 ක් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සංකරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ විධිමත් නිර්දේශයක් නොතිබූ බවයි.
එවැනි විධිමත් නිර්දේශයකින් තොරව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.
මේ තුළින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.


