ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ණය සහ ලීසිං පහසුකම් සම්බන්ධයෙන් නව සීමා පනවා තිබෙනවා.
අද (25) සිට ක්‍රියාත්මක වන මෙම නව නීති අනුව, වාහනයක වටිනාකමින් සම්පූර්ණ මුදලට ආසන්න ප්‍රමාණයක් ණය ලෙස ලබා ගැනීමට තවදුරටත් නොහැකි වනවා.
අලුතින් ලියාපදිංචි කරන හෝ ලියාපදිංචි කර වසරකට අඩු කාලයක් භාවිතා කළ පුද්ගලික වාහන සඳහා ලබාදෙන ණය සහ ලීසිං සීමාව සියයට 40ක් දක්වා අඩු කර තිබෙනවා.
මෙයට කාර්, SUV වර්ගයේ වාහන, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඇතුළත්.
ඒ අනුව රුපියල් ලක්ෂ 100ක වටිනාකමක් ඇති කාර් රථයක් මිලදී ගන්නේ නම්, බැංකුවකින් හෝ ලීසිං ආයතනයකින් ලබාගත හැක්කේ ලක්ෂ 40ක් පමණයි.
ඉතිරි ලක්ෂ 60 තමන් විසින් ගෙවිය යුතු වනවා.
මේ අතර, ලොරි, සිංගල් කැබ් සහ වෙනත් ප්‍රවාහන වාහන වැනි වාණිජ වාහන සඳහා වාහනයේ වටිනාකමින් සියයට 60ක් දක්වා ණය ලබාගත හැකි බවයි මහ බැංකුව සඳහන් කළේ.
එමෙන්ම, ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිතා කළ වාහන සඳහාද උපරිම ණය සීමාව සියයට 60ක් ලෙස නියම කර තිබෙනවා.
මහ බැංකුව පවසන්නේ වාහන වෙළඳපොළ වෙත අධික ලෙස ණය මුදල් ගලායාම පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.




