වසර 03ක් තිස්සේ මෙරට ඒඩ්ස් රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙමින් ඇතැයි නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනෙන්නට ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ මෙලෙස රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් වැඩි වන්නේ ඇයි දැයි පුළුල් විමර්ශණයක් සිදු කල යුතු බවයි.

"HIV ගැන කතා කළොත්, රෝග තත්ත්වය 1986 පළවෙනි රෝගියා වාර්තා වුණායින් පස්සේ එතැන් ඉඳන් ඇත්තටම HIV සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පාලනය කිරීමට ඉතා හොඳ පාලන කටයුතු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය වගේම Sri Lanka College of Sexual Health and HIV Medicine කියන අපේ සංගමිනුත් සෑහෙන්න දේවල් අපි කරලා තියෙනවා. ඒ පාලනය 2021 වෙනකල් හොඳින් සිදු කෙරුණා. නමුත් 2021න් පස්සේ, ඒ කියන්නේ 2021 කියන්නේ කෝවිඩ්, කෝවිඩ් වලින් පස්සේ අපි දකිනවා මේ පාලනය අපෙන් ගිලිහුණාදෝ කියන එක. ඒකට හේතුව විදියට අපි දකින්නේ 2021දී වෙනකොට මේ කෝවිඩ් තත්ත්වය හින්දා රෝගීන්ට සේවාවන් කරා එන්න බැරි වුණා. ඊළඟට මේ රෝග පාලන වලට අපිට පාලනය කිරීමට අවශ්‍ය දේවල් කිරීමේ අපහසුතාවයක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාලයේදී මේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ අපි අඩුවක් දැක්කා 2021, 22. හැබැයි 2023 වෙනකොට ඒ තත්ත්වය මගඇරිලා ආයෙමත් HIV සහ අනෙකුත් රෝග තත්ත්ව වැඩිවීමේ ප්‍රවණතාවයක් දැක්කා. අපි එතකොට ඇත්තටම අපි හිතුවේ ගිය අවුරුදුවල කෝවිඩ් වලට එන්න බැරි රෝගීන් මේ වෙනකොට වාර්තා වෙන්න පටන් අරන් කියලා. නමුත් 2023න් පටන් ගත්ත මේ වැඩිවීම දැන් 2026 වෙනකොටත් රෝගවල වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා."

මෙලෙස ඒඩ්ස් වැඩි වන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු ද මෙහිදී අනාවරණය කෙරුණා.

"දැන් අයිස් මත්ද්‍රව්‍ය හින්දා අපිට පේනවා මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක්. අපි ඒක දකින්නේ අපේ සායන වලට එන රෝගීන් ගත්තාම ඒ පිරිසෙන් අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ගන්නවා. වැඩේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ගත්තට පස්සේ, විශේෂයෙන්ම අයිස් වගේ දේවල්, ඒගොල්ලො කරන්නේ මොනවාද කියන එක අවබෝධයක් නැහැ. ප්‍රිවෙන්ෂන් (prevention), ආරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට HIV පොසිටිව් වුණත් බෙහෙත් ගන්න එන්නේ නැහැ. දැන් අයිස් කියන එක අපිට හිතාගන්න බැරි හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා (professionals), හොඳ රැකියාවල් කරන කට්ටිය, ඒ වගේම දරුවෝ, ඊළඟට පහළ මට්ටමේ, ඒ කියන්නේ ආර්ථික මට්ටමෙන් අඩු ඉන්න කට්ටිය කියන හැමෝම පාවිච්චි කරනවා. එතකොට මේ හින්දා තමයි අපි දකින විදියට මේ... මේ තත්ත්වය දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි මොන ප්‍රිවෙන්ෂන්, මොන ආරක්ෂණයන් ක්‍රම කරත් දැන් විවේචන... ඒ කියන්නේ ඒවා ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපි දකින්නේ. HIV ගැන කතා කළොත් එහෙම, HIV ඕගොල්ලො හැමෝම දන්නවා HIV දැන් වසරෙන් වසරට රිපෝට් වෙන, ඒ කියන්නේ වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මුලින් හිතුවේ අපි ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි හින්දා මේකේ වැඩිවීමක් කියලා, නමුත් එහෙම නැහැ, දැන් නව ආසාදනයන් වැඩිවෙමින් පවතිනවා. හැම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මේ අතර ඉන්නවා. ඒ වගේම හැම රැකියාව ගත්තොත් ඕනම රැකියාවක් කරන කට්ටිය මේ අතර ඉන්නවා. මුළු ලංකාව ගත්තොත් ලංකාව පුරාම ඇත්තටම මේ රෝගීන් වාර්තා වෙනවා, කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුර වාර්තා වෙන්නේ. බෝවෙන ක්‍රමය ගත්තොත් වැඩිපුරම අපේ රටේ බෝවෙන ක්‍රමය වන්නේ පිරිමි පිරිමි අතර ලිංගික සම්බන්ධතා, ඒ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් තමයි අපේ රටේ මේ HIV කියන රෝගයත් අනෙකුත් ලිංගාශ්‍රිත... ලිංගික සම්ප්‍රේෂණ රෝගත් වැඩිපුර සම්ප්‍රේෂණය වෙන ක්‍රමය."