ඉරානය විසින් ඉදිරිපත් කර ඇති නවතම යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකාව සිය තීරණය ප්‍රකාශයට පත් කළ යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක සහ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබාෆ් පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විට තීරණය ගැනීමේ අවස්ථාව ඇත්තේ අමෙරිකාව අතේ බවත්, ඒ අනුව දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණීමේ හැකියාව පවතින බවත්ය.

මේ අතර මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු ගාසා තීරයේ බටහිර ඛාන් යුනිස් හි පිහිටි නසාර් වෛද්‍ය සංකීර්ණයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගාසා සිවිල් ආරක්ෂක අංශ ප්‍රකාශක මහමුද් බසාල් සඳහන් කළේ.

එමෙන්ම හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා දෙකක් සාර්ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය පවසනවා.

මීට අමතරව සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඉහළ අහසේ පියාසර කළ තවත් ඩ්‍රෝන යානයක් ද ඔවුන් විසින් විනාශ කර ඇති බව සඳහන්.

මේ අතර දේශසීමා සහ සම්පත් බෙදාගැනීමේ ගැටලු මෙන්ම උතුරු ඉරාකයේ කුර්දි කලාපය තුළ ඉරාන විපක්ෂ කණ්ඩායම් රැඳී සිටීම වැනි අභියෝග පැවතියද, ඉරානය සමඟ පවතින සබඳතා සාමාන්‍ය මට්ටමක පවතින බව ඉරාක ජාතික ආරක්ෂක උපදේශක කාසිම් අල්-අබූඩි ප්‍රකාශ කර තිබෙනවා.

ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.