ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති බවයි හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.