Friday, March 29, 2024

General line - 0115112241

එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් භේද පසෙක ලා අත්වැල් බැඳගත යුතු බව ජනපති කියයි




සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත් වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලු භේද පසෙක ලා 75 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ වෘත්තීය නීතීඥ දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඒකීය හා එක්සත් භාවය බිඳදමන මෙරට ජනවාර්ගික හා ආගමික ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ආරම්භය 75 වන නිදහස් සැමරුමේදී සනිටුහන් කළ යුතු බවයි. 

පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ පරිදි සියලුදෙනාගේ සහය ඊට හිමිවුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. එම කටයුත්ත දේශපාලනඥයින්ට පමණක් තනිව ඉටුකළ නොහැකි බවත්, නීතීඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහය ද ඊට හිමිවිය යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ.

රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගයන්ට අමතරව සමස්ථ ක්‍රමවේදය පිළිබඳ ජනතාවගේ ප්‍රශ්න කිරීම විශාල අභියෝගයක් බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

ඒ අනුව ජනතාව භුක්ති විඳින නිදහස තහවුරු කරන ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පාලනයකට එම නව වැඩපිළිවෙළ මගින් ඉඩ සැලසෙනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.