Friday, April 19, 2024

General line - 0115112241

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා උත්සන්න වෙයි




ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා උත්සන්න වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට වීදි ජාතික ධජය රැගත් විරෝධතාකරුවන්ගෙන් පිරී පවතින බවයි. රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල වැසියන් එලෙස විරෝධතා සහ වැඩවර්ජනවල නිරත වන්නේ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත් කර ඇති අධිකරණය ප්‍රතිසංස්කරණවලට එරෙහිවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් එරට ආරක්ෂක අමාත්‍යවරයා ධූරයෙන් නෙරපා හැරීම හමුවේ විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විරෝධතාකරුවන්ට සහය දැක්වීම ඔහුව ධූරයෙන් නෙරපා හැරීමට හේතුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබුණත් එය කල් දමා ඇතැයි ද වාර්තා වනවා.

වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හමුවේ ටෙල් අවීව් ගුවන් තොටුපළෙන් සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් ද අත්හිටුවා තිබෙනවා.

ඊශ්‍රායලයේ ප්‍රධාන වරායන් දෙකක ද මෙහෙයුම් කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ලොව පුරා විහිදී ඇති සුපිරි අවන්හල් ජාලයක් ද එහි ඊශ්‍රායල ශාඛා වසා දමමින් ඇතැයිද එම වාර්තාවල සඳහන්.