Thursday, April 25, 2024

General line - 0115112241

මහජන විරෝධතා හමුවේ ඊශ්‍රායල් අගමැති පියවරක් පසුපසට ගනී




රජයට එරෙහි විරෝධතා, උද්ඝෝෂණ, වැඩවර්ජන සහ නොසන්සුන්තා උත්සන්න වීම හමුවේ යෝජිත අධිකරණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ප්‍රමාද කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.

වෘත්තිය සමිති විසින් ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය හමුවේ ගුවන් තොටුපල හා වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු බිඳවැටීම හමුවේයි අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇතතේ ජනතාව අතර බෙදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බවයි. කෙසේ වෙතත්, එම ප්‍රමාදය සිදු කිරීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බව ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙනවා.

මේ අතර අධිකරණ ප්‍රතිසංස්කරණ ප්‍රමාද කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමහ වෘත්තිය සමිති විසින් රටපුරා කැඳවා තිබූ වැඩවර්ජනය ද අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව මාස 03 ක පමණ කාලයක සිට ඊශ්‍රායලය තුළ විරෝධතා පැවැත්වෙනවා. එහෙත් එම විරෝධතා ඉකුත් දා උත්සන්න වූයේ මහජන විරෝධතා සඳහා සහය පළ කළ ආරක්ෂක අමාත්‍යවරයා ධූරයෙන් නෙරපා හැරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කිරීමත් සමගයි.