Friday, October 11, 2024

General line - 0115112241

ලෝක කුසලානය කාටද? ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 241ක ඉලක්කයක්




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දැන් පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි.

තරගය ආරම්භයට පෙරම ඉන්දීය කණ්ඩායම මෙම තරගයේදී වාර්තා පොතට එක්වූයේ එකම කණ්ඩායමක් ලෝක කුසලානයක වැඩිම තරග සංඛ්‍යාවකට එක් වූ පළමු අවස්ථාව ලෙසටයි.

ඉන්දියාව මෙවර තරගාවලියේදී කිසිඳු වෙනස්කමකින් තොරව එකම කණ්ඩායමක් තරග 07කට ක්‍රීඩා කර තිබුණා.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටින එක්ලක්ෂ 30,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ ලෝක කුසලාන තරගය ආරම්භ වූයේ විචිත්‍රවත් ගුවන් සංදර්ශණයක් ද සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කලා. වේගවත් ආරම්භයක් ලබා ගත් නායක රෝහිත් ෂර්මා පන්දු 31කදී ලකුණු 47ක් රැස් කලා.

ඔහු මෙවර තරගාවලියේ ලකුණු 581ක් රැස් කර ගෙන ඇති අතර එය සැලකුණේ ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එහෙත් පන්දුවාර 10ක් තුල ලකුණු 81කට කඩුළු 03ක් බිද වැටීමත් සමග ඉන්දීය ඉනිම අඩාල වුණා.

දසවන පන්දුවාරයෙන් පසුව ඉන්දීය කණ්ඩායම කිසිදු හතරේ පහරක් නොමැතිව පන්දු 97කට මුහුණ දී තිබුණා.

එය සැලකුණේ මෙවර ලෝක කුසලානයේ කිසියම් කණ්ඩායමක් හතරේ පහරක් එල්ල නොකර මුහුණ දුන් දෙවන වැඩිම පන්දු සංඛ්‍යාව ලෙසයි. 

එමෙන්ම, 11 වන පන්දුවාරයේ සිට 40වන පන්දුවාරය දක්වා ඉන්දීය පිතිකරුවන් එල්ල කලේ හතරේ පහර දෙකක් පමණයි.

එය සැලකුණේ 2016 වසරෙන් පසු ලෝක කුසලානයක මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව ලෙසයි.

කෙසේ වෙතත් විරාත් කෝලි හා කේ එල් රාහුල් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබදතාවක් ගොඩ නැගූ අතර කෝලි දැවී ගියේ ලකුණු 54කටයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේ එල් රාහුල් ලකුණු 66කට දැවී ගියා.

කෙසේ වෙතත්, ඉන්දීය සෙසු පිතිකරුවන්ට සාර්ථක විමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුලු 03ක් බිද හෙලූ අතර පැට් කමින්ස් හා ජොස් හේස්ල්වුඩ් කඩුලු 02 බැගින් බිද හෙලුවා. 

ඇඩම් සම්පා මෙහිදී එක් කඩුල්ලක් දවා ගත් අතර ඒ අනුව ඔහු මෙවර තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 ක්.

ඒ අනුව 2007 වසරේදී මුත්තයියා මුරලිදරන් කඩුලු 23ක් දවා ගනිමින් ලෝක කුසලානයක වැඩිම කඩුලු දවාගත් දග පන්දු යවන්නා බවට පත්වෙමින් බිහිකර තිබූ වාර්තාව මෙහිදී ඇඩම් සම්පා විසින් සම කිරීමද කැපී පෙනුනා.

අවසානයේ ඉන්දීය සියලු පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ දැවී ගියේ ලකුණු 240කටයි.

ඉන්දීය ඉනිම අවසානයේ තරගයේ ජයග්‍රාහී සම්භාවිතාව ඕස්ට්‍රේලියාවට සියයට 67ක් හා ඉන්දියාවය සියයට 33ක් ලෙස දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, තණතීරුවේ ස්වභාවය අනුව ලකුණු 241ක ඉලක්කයක් හඹා යාම ඕස්ට්‍රේලියාවට ද පහසු නොවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. 

සිය ඉලක්කය හඹා යාම සදහා ඕස්ට්‍රේලියාව මේ වන විට පිටියට පිවිස සිටිනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 96 ක් රැස් කරගෙන සිටියා.