Monday, June 24, 2024

General line - 0115112241

නව රැකීරක්ෂා පනත යටතේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක්




මෙරට සියලුම වෘත්තීන් හී ගරුත්වය  ආරක්ෂා කිරීම උදෙසා වෙනම පරිච්ඡේදයක් නව රැකීරක්ෂා පනත යටතේ හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන් හට එමගින් නිසි පිළිගැනීමක් ලැබෙන බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් විසින් අදාල වෘත්තීන් වල වෘත්තීය තත්ත්වය වර්ධනය කිරීමට අදාල ප්‍රමිතීන් ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර රෙගුලාසියක් ලෙස බලාත්මක කිරීමට එමඟින් බලයක් හිමවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

නව රැකීරක්ෂා පනත මගින් මෙරට සියලුම වෘත්තීන් හී නියැලෙන පිරිසට හ‍ෙ සුරක්ෂිත බවක් ලබා දීමට අවාකශය හිමිවන බවත් එමඟින් සියලුදෙනා හට ගෞරවනීය දිවියක් ගත කිරීමට අවකාශය උදා වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ පෙර පාසල් ගරුවරියන් සමඟ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම් පිළිබඳව පැවතී සාකච්ඡාව අතරතුරදීය. 
මෙහිදී  අමාත්‍යවරයා වැඩි දුරටත්  මෙලෙස අදහස් පළකලා,
"රටේ ලක්ෂ 60ක් විතර ඉන්නවා නිසි පිලි ගැනීමක් නැති  නිසි ආරක්ෂාවක් නැති පිරිසක්. ඒ නිසාමයි අපි ඒ අයට ගෞරවයක් ලබාදෙන්න ගරු කියලත් ඒ අයගේ සුරක්ෂිත බවක් ඇති කරන්න තමයි සරු කියලා අදහස් කරමින් මේ ගරු සරු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
අපි ඒ නිසාම මේ හැමෝටම ගරුත්වයක් හිමිවෙන් සාරවත් දිවයක් ගත කරන්න හැකිවෙන ක්‍රමයක් ඇති කරන්නයි අපි මේ කටයුතු කරන්නේ.

මෙහිදී අපි බලන්න ඕනේ පෙර පාසල් ගරුවරියන්ට නිසි සංවිධානයක් තියෙනවාද කියන කාරණය. විශේෂයෙන්ම නීතීඥයින්ට, ගණකාධිකාරීවරුන්ට, ගෘහ නිර්මාණ ශීල්පීන්ට වෙන්වුන වෙනම සංවිධාන තියෙනවා. රජයේ පාසල් වල ඉන්න ගරුවරුන්ට නම් රාජ්‍යයෙන් නිසි ආරක්ෂාවක් ලැබෙනවා.

ඒත් ඔබට ඔබේ වෘත්තියේ මට්ටම තීරණය කරන්න, ක්‍රමයක් තියෙනවාද කියලා විමසා බැලිය යුතුයි. විශේෂයෙන්ම වෘත්තියේ මට්ටම ආරක්ෂා කරගන්න නම් ඊට අදාල ප්‍රමිතීන් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. මේ ප්‍රමිතීන් පවත්වාගෙන යන්න නිසි රාමුවක් තිබිය යුතුයි. ඔබට එවැන්නක් තියෙනවාද ? මම විශ්වාස කරන විදිහට නම් ඔබට එවැන්නක් නැහැ.

අපි දන්නවා ඔබට එන්.වී.කිව් 4 දක්වා සහතික ලබා දෙනවා. ඒත් පෙර පාසලක් පටන් ගන්න එ්ක අත්‍යාවශ්‍යද? ගමේ නම් පෙර පාසල් පටන් ගන්න හිතුනාම දරුවන් කීපදෙනක් එකතු කරගෙන පෙර පාසල පටන් ගත්ත අවස්ථා අපි දැකලා තියෙනවා.

මෙතනදි අපි විශේෂයෙන් අවධානය යොමු කළයුතු කාරණයක් තියෙනවා. එහිදී පෙර පාසල කියන්නේ අපේ දරුවන්ගෙ පූර්ව ළමා විය සංවර්ධනය කරන තැනයි. එහිදී නිසි ලෙස දරුවන් ගොඩ නගන්න කටයුතු  නොකළහොත් අපේ රටේ අනාගතයට ගොඩනගන්නේ වැරදි පුරවැසියෙක්. 

මේ රටේ අධ්‍යාපනය සකස් කරද්දී නිසි වටිනාකම ලබා නොදෙන පූර්ව ළමා වියෙන් තමයි දරුවකුගේ මානසිකත්වය වෙනස් වෙන්නේ. ළමා මනෝවිද්‍යාව හදාරපු අය විදිහට ඔබ දන්නවා දරුවකු ඉතාම පරිස්සමෙන් බලාගත යුත්තේ කොයි කාලයේදීද කියන කාරණය. 

පුංචිම පුංචි කාලයෙදී දරුවකුගේ මනසට වැටෙන්න ඕනේ නැති දේවල් වැටුනොත් වගේම වැටෙන්න ඕනේ දේවල් නොවැටුනොත් විශාල විනාශයක් සිදුවෙන්න ඉඩ තියෙනවා. 

අපේ අධ්‍යාපනය ක්‍රමය තුල අපි හැමෝටම උගන්වලා තියෙන්නේ රාමු වලට කොටු කරලයි. ඒ රාමු වලින් එහාට හිතන්න බැරි, ඒ රාමු වලම ඉදලා කල්පනා කරන ඒ රාමු වලින් එහාට ජීවිතයක් දකින්නේ නැති, ඒ රාමු වලින් එහාට හිතුවොත් අපි වැරදිකාරයෝ බවට පත්වෙන ක්‍රමයක් තමයි මේ රටේ තියෙන්නේ.

පුංචි කාලයේ ඉදන්ම අපිට උගන්වන පෙළපොත් වලින් වගේම, විවිධ ආගම් වලින් පවා අපිට උගන්වන්නේ අපිව රාමුවකට කොටු කරලා තියන්නයි. 

අපේ අධ්‍යාපනය විභාග මූලික කරලා එතැනින් පස්සේ රස්සාවක් කරන්නයි සකස් වෙලා තියෙන්නේ. එහිදී දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, පයිලට් කෙනෙක් වෙනවා ඇරෙන්නට ඊට එහාට දෙයක් ගැන හිතන්නවත් බැර දරුවන් පිරිසක් අපි බිහි කරලා ඊට පස්සේ මේ රට දියුණු වුනේ නැහැ කියලා හැත්තෑ පස් අවුරුද්දකට බනිනවා.

අපේ රටේ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න කියලා අපිට කවමදාවත් උගන්වන්නේ නැහැ. කවදාවත් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න, හොඳ නිෂ්පාදකයෙක් වෙන්න, ස්ව්‍යං රැකියාවක් පටන් අරගෙන ලෝකය ඉස්සරහට යන්න කියලා කියන්නේ නැහැ.

ඊලෝස් මස්ක් වගේ ලෝකයම කතා කරන  තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව කරායන කෙනෙක් වෙන්න කියලා හිතෙන්න අවශ්‍ය කරන මූලික පදනම අපි හදලා දෙන්නේ නැහැ. ඒ  නිසාම ප්‍රතිපත්මිය වශයෙන්  අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. 
පෙරපාසල් ගුරුවරු ඉතාම හොඳට සෙල්ලම් මිදුල පාවිච්චි කරලා, පෙර පාසලේ විවිධ ක්‍රියාකාරකම් හරහා, දරුවන්ගේ මනස විවෘත කරවන්න විශාල උත්සහයක් දරනවා. අපි ඒක හොදින්ම දැකලා තියෙනවා. එහිදී පාටවල් තේරීම, අංක තේරීම වැනි ක්‍රියාකරම් ඔස්සේ  දරුවාව යම් තැනකට හැඩගස්වන්න පෙරපාසල් ගුරුවරුන් උත්සහ කරනවා. ඒත් පළමු වසරට ගිය ගමන්ම දරුවාව වෙනම තැනකට ගෙනියනවා.  

අපේ දෙමාපියන් වැඩි පිරිසකට ළමා මනෝවිද්‍යාව පිළිබඳ තියෙන්නේ ඉතාම අඩු දැණුමක්. ඒ අය පෙරපාසලට දරුවන්ව එවීමෙන් දරුවන්ට  අකුරු උගන්වන්නයි උත්සහ කරන්නේ. ඒ වගේම අපේ අම්මලා තාත්තලාට වුවමනාව තියෙන්නේ පෙර පාසලේ ඉදලම දරුවාව පහේ ශිෂ්‍යත්වයට සූදානම් කරන්නයි. මේ දේවල් වෙන්නේ ඒ දෙමාපියන්ට තියෙන දැණම් පරිමානය අනුවයි. එහෙම වෙන්නේ අපි රට පෙළගස්වලා තියෙන විදිහ නිසයි.

අපේ හැදිලා තියෙන්නේ විභාග මූලික අධ්‍යාපනය ඔස්සේ ගිහිල්ලා කොහොම හරි රජයේ රස්සාවක් ගන්න එකයි. අපේ හැදිලා තියෙන්නේ රජයේ රස්සාවක් නොකළොත් ඔයා ඉවරයි කියන මතයයි. 

අපේ රටේ ජිව නාලිය වෙන දරුවන්ට අත්‍යාවශ්‍යම තැන තමයි මේ පූර්ව ළමාවිය කියන තැන. දරුවන් ඔබ සමඟ ගෙවන පැය කීපය තුලදී දරුවාගේ මානසිකත්වය රැක බලා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා ඒ වගේ තැනකට ප්‍රමිතීන් ඇති කිරීමත් ඉතාම වැදගත්.

හැබැයි ඔබේ ප්‍රමිතීන් හදාගන්න ඔබ කාටද කියන්නේ ?  ඔබට ඒකට බලයක් කොහෙන්ද ලබා ගන්නේ? ඔබ සියලුදෙනා වෙන් වෙන්ව විවිධ තැන් වලයි කටයුතු කරන්නේ. ඒ නිසාමයි අපි කම්කරු අමාත්‍යංශය විදිහට අලුත් රැකී රක්ෂා පනත ඉදිරිපත් කරද්දී ගරු සරු වලට අලුත් පරිච්චේදයක් වෙන් කරනවා. 

ඒ කියන්නේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් අපි වෙනම පරිච්ඡේදයක් වෙන් කරනවා. ඒ පරිච්ඡේදය යටතේ, අපි පාර්ලිිමේන්තුව හරහා මේ රටේ දැනට වෘත්තියක් විදිහට නිසි ගරුත්වයක් නොලැබෙන, සියලු වෘත්තීන් මේ පනත යටතට ගේනවා. ඒ වගේම විටින් විට අමාත්‍යවරයාට  බලය ලැබෙනවා අදාල වෘත්තීන්ගේ අදාල තත්ත්වයන් ගැසට් කරලා රෙගුලාසි විදිහට බලාත්මක කරන්න.
එතකොට ඔබේ අඩුපාඩුවක් කරනවා නම් , ඔබ වැරදි විදිහට යොදා ගන්නවා නම්, ඔබට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා ඔබව නීතියෙන් ආරක්ෂාව ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. දැනට එහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ

හැබැයි ඔබේ වෘත්තියට තිබිය යුතු ප්‍රමිතීන් මොනවාද, ඔබව රැක බලාගන්න ඕනේ කොහොමද, කියන කාරණා අපි දන්නේ නැහැ. ඒක දන්නේ ඔබයි. ඒ නිසයි අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ. ඒ නිසාමයි අපි මේ විදිහට වෘත්තීන් රැසකට අදාලව සාකච්චාවන් රාශියක් පවත්වාගෙන ආවේ. අද දින ඔබේ විෂය ක්ෂේත්‍රයෙන් ඔබේ අදහස් අරගෙන අපි ඒක තීරණය කරන්න ආරම්භ කරනවා.

ඒත් ඒ ප්‍රමිතීන් අපි හදන්නේ නැහැ. ඒක ඔබටම භාර දෙනවා එහිදී ඔබ විසින්ම පෙර පාසල් වෘත්තිකයින්ගේ මණ්ඩලයක් හදනවා. ඒක මණ්ඩලයක්. ඒකට පාට නැහැ පක්ෂ නැහැ. පෙර පාසල් ගුරුවරියන් එකතු වෙලායි මේ ජාතික මණ්ඩලය හදා ගන්නේ. 
ඒ මණ්ඩලය නීතිඥ සංගමය, ගණකාධිකාරීවරුන්ගේ සංගමය, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය , වෛද්‍ය සංගමය වගේ එකක්. ඒක නිර්මාණය කිරීම තුලින් ඔබට රාජ්‍යයේ රැකවරණය සමඟ ප්‍රබල හඩක් ලබා ගන්න අවශ්‍ය කටයුතු අපි සකස් කරලා දෙනවා.  

ඊට පස්සේ පෙර පාසල් ගුරුවරියක් වීමට අවශ්‍ය කරන සුදුසුකම් ඔබයි තීරණය කරන්නේ. ඒ වගේම ඒ අයට හිමිවිය යුතු වරප්‍රසාද ඇතුළු සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඒ දේවල් සිල්ලම හදන්න ඔබටම භාර දෙනවා. ඊට අවශ්‍ය පහසුකම් සැපයීම මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් කරනවා. 

ඔබ විසින් ප්‍රමිතීන් තීරණ කළාට පස්සේ ඔබේ මණ්ඩලය විසින් බලපත්‍රයක් මේ හැමෝටම නිකුත් කරනවා. එතකොට බලපත්‍රය තියෙනවා නම් විතරයි පෙර පාසලක ගුරුවරියක් වෙන්න පුළුවන් වෙන්නේ.  

ලෝකයේ වෙන රටවල් වල තණ කොළ කපන්නවත් බැහැ ඒකට ලයිසන් එකක් නැත්තම්. ඉතින් මේ ක්‍රමයෙන් ඔබට කියන්න පුළුවන් මම බලපත්‍රයක් හිමි පෙර පාසල් ගුරුවරයක් කියලා. 
මේක තිබ්බාම තමයි ඔබ කෙරෙහි ගරුත්වයක් ඇති වෙන්නේ. මේ බලපත්‍රය වර්ෂිකවයි අලුත් කරන්නේ. ඒක අපි නෙමෙයි මණ්ඩලය තමයි කරන්නේ. එතකොට ඒක අලුත් කරද්දී වැරදි වෙලා තියෙනවාද? පහුගිය අවුරුද්දේ කටයුතු කළ ආකාරය ඇතුළු සියලුම දේ සොයා බැලීමක් කරනවා.

ඒ වගේම ගරුත්වය වැඩි වෙනවා වගේම සාරවත් භාවයත් වැඩි වෙනවා. අපි ඒ ගැනත් හිතලා බැලිය යුුතුයි.

ඉස්සර රජයේ නිලධාරීන් බැලුවේ හැමෝම හිර කරන්නයි. ඔවුන් මොනවත්ම කරන්න දෙන්නේ නැහැ. කෙනෙක් වැඩියෙන් හම්බු කරනවා නම් ඒක නතර කළා. ඒත් අපි රජයක් විදිහට ඒ ක්‍රමය වෙනස් කරලා තියෙනවා.

අපි පුළුවන් තරමි පුද්ගලික අංශයට ඉඩකඩ විවර කරලා දෙනවා.  ඒ අයට පුළුවන් විදිහට තමන්ගේ ඉපයීම් වැඩ කරගෙන සාරවත් ජීවිතයත් ගත කිරීමට අවස්ථාව දෙනවා. එහිදී  රජය විදිහට අපි කරන්නේ නියාමනය කිරීමයි.

එහිදී වෘත්තීන් වල නිරත වෙන පිරිස විසින් හදලා දෙන ප්‍රමිතීන් මම විතරක් නෙමෙයි මේ පනත තියෙන තාක් කම්කරු ඇමති විදිහට පත්වෙන තැනැත්තාට ඒවා ගැසට් කරලා ඒ තුලින් නීති රීති හදලා දෙන්න පුළුවන් වෙන විදිහටයි අපි මේ කටයුත්ත කරන්නේ.

මීට අවුරුදු දහයකට විතර පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගරුවරියන් විශාල පිරිසක් ඔවුන්ට තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කළා. ඒ වෙලාවේ මට මේ වගේ දේවල් කරන්න බලයක් තිබුනේ නැහැ. ඉතින් මම ඒ දවස් වල පෙර පාසල් වලට තීන්ත ගාන්න, ඩී.වී.ඩී ප්ලේයර්ස් ලබා දීලා මුතුවන් දරුවෝ කියලා මුළු දිස්ත්‍රික්කයේම ගුරුවරියන්ට පුහුණ වැඩසටහන් වගේම දරුවන්වත් එකතු කරගෙන දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න අපි වැඩ කටයුතු කළා.

මම තදින්ම විශ්වාස කරනවා පෙර පාසලින් දරුවාට ලබා දෙන මූලික අත්තිවාරම ශක්තිමත් කළොත් විතරයි අපිට රටේ අනාගත දරු පරපුර සකස් කරන්න හැකියාව ලැබෙන්නේ. 

කම්කරු ඇමති විදිහට මගේ වගකීම තමයි, මේ අනාගත වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයින් පිරිස බිහි කිරීම. ශ්‍රමිකයින් කිව්වාම ඒක වෘත්තිකයෝ, ව්‍යවසාකයින්, වගේම මේ රටට විවිධ විදිහට කටයුතු කරන කණ්ඩායම් ඇතුලත් වෙනවා. මේ අය සියලු දෙනාම  බිහි කරන්න අවශ්‍ය මූලික අඩි තාලම වැටෙන්නේ පෙර පාසලින්. 

පෙර පාසලින් නිසි අදහස් දරුවන්ගේ හිතට නොදැම්මොත්, විවෘතව හිතන්න පුළුවන් මිනිසුන් බිහි නොකළොත්, කැලණි ගඟෙන් ආපු නයෙක් ධාතු කරඬුවක් ගෙනාවා කිව්වත් විශ්වාස කරන විවෘතව හිතන්න අයයි බිහි වෙන්නේ. 

හිතන්න පුළුවන්, නිදහස් මනසක් තිබෙන අය බිහි නොකලොත් තමයි අර කඩේ තියෙන ඇඳුම් ඇන්දොත් අපි වඳ වෙනවා, මේ කඩේ තියෙන කොත්තු කෑවොත් අපි වඳ වෙනවා වගේ කතා වලට අහුවෙන පිරිසක් බිහි වෙන්නේ. ඒ වගේම ජාතින් අතර ගැටුම් ඇති කරගන්න අය බිහිවෙන්නෙත් අපේ මූලික අඩි තාලම නරක් වුනාමයි. 

1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරලා  ජනතාව බෙදා ඡන්ද ගන්න පුළුවන් වුනේත්, දෙමළ සිංහල, මුස්ලිම් සිංහල  කල කෝලහාල, වගේ ජාතින් අතර කෝලහාල ඇති කරන්න පුළුවන් වුනෙත් අනිකාගේ දුක නොදැනෙන සහ කම්පනය නොදැනෙන මිනිසුන් බිහි වුනෙත් විවෘත දැක්මක් ඇති පිරිසක් බිහිකිරීමට හැකියාව ලැබෙන නිසි අඩිතාලමක් දැමීමට නොහැකි වීමයි .

අපි හැමෝටම බැන බැන ඉන්නවා. ඒත් දැන් කරන්න ඕනේ විවේචනය කරන එක නෙමෙයි  රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන එකයි.  
බ්ම් ගෙයි කෙළවරෙන් එන රදී එළිය වගේ අපේ රට දියුණු මාවතක ගමන් කරනවා කියන කාරණය දැන් පෙන්නුම් කරනවා. ඉතින් ඒ එතැනට යන්න නම් අපි මේ පුංචි දරුවන්ව වෙනස් කරන්න ඕනේ. තව අවුරුද් 15කින් 20කින් මේ රට දියුණු කරන්න එන්නේ, මේ පුංචි දරුවනුයි. මේ දරුවෝ ටික තවත් ශක්තිමත් කරලා හොඳට හිතන්න පුළුවන් පිරිසක් බවට පත්වෙන්නේ ඔබ තුලිනුයි.

එහිදී ඔට ගරුත්වය, වටිනකමක් දුන්නොත් විතරයි ඔබත් සතුටින් වැඩ කරන්නේ. ඔබත් පීඩනයකින් නම් ඉන්නේ, එයින් කොටසක් දරුවන්ටත් යනවාමයි. 

අපිට මාස තුනක් ඇතුලත මේ සියලු දෙනාටම ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් දෙන ආකාරය ගැන සහ සමාජ ආරක්ෂණ වැඩසටහනක් හදන්නේ කොහොමද කියලා සඳහන් යෝජනාවක්  කැබිනට් මණ්ඩලයට භාර දෙන්න තියෙනවා.   ඒ අනුව අද ලක්ෂ හැටක් වුන සියලුම ශ්‍රමිකයින්ට මේ වැඩසටහන හරහා ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් දෙන, රක්ෂණයක් ඇති සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඇති කිරීමට අපි කටයුතු කරනවා."