Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම සහ ප්‍රතිපත්ති ස්ථීර නොවන බව මනූෂ වැල්ලවායේදී කියයි




රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් U.P.I ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. 

ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17)  සහ හෙට(18) දෙදින පැවැත්වෙන  ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය. 

කම්කරු හා විදේශ රැකියා ආමත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනය වල සේවාවන් සහ අනෙකුත් රාජ්‍ය අයාතන වල සේවාවන් මහජනතාව වෙත ගෙනයාම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපෙක්ෂා කරන බවත් එමගින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියේ 

ජයගමු ශ්‍රී ලංකා කියන්නේ ජංගම සේවයක් නෙමෙයි, ප්‍රතිපදාවක්. කාලෙන් කාලෙට වෙනස් වෙන බලලෝභී ප්‍රතිපත්ති වෙනුවට රට ගොඩනගන ජනතාව දෙපයින් නගා සිටුවන දැවැන්තම ප්‍රතිපදාවයි මේ.

ඒකේ දෙවැනි ජනගත කිරීමයි අපි අද මේ මොනරාගල දිස්ත්‍රික්කයේදී පවත්වන්නේ. 

ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලාතමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ.

හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි,  රටට ජයග්‍රහණය ගෙන එන අවස්ථා නියෝජනය කිරීම, ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ.

මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුලවන් නායකත්වය වෙනුවෙන්,
ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස්වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු.

ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ.

ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය.

ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා.

ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජීවිත වලට ආයේ පන දෙන්න බැහැ. 

ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා.

ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ.

දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ.

ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ.

මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා.

ගිලන්රථ සේවය ගේනකොට කියපු කතා, අමූල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා.

දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා.  

අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට.

ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය.

මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුන මුල් අවස්ථාවේදී තිබුණ තත්වය.

ඒ වෙලාවේ ඔය හොදයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.

අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්.

මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ.

වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක.

එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ.

මම ගම්පෙරලියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, 2002 දී ආර්ථිකය හදාගෙන එන විට පරිවාස ගහලා ඒක කඩා කප්පල් කළා, ටැබ් දෙන කොට වද කරන්නේ කියලා කිව්වා, මේ රටේ ජනතාවට මම මෙච්චර දේවල් කරලත් ඒ ජනතාව මට සැලසුවේ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට එහෙනම් කොයි වගේ තත්ත්වයක ඉදීද.

මම මේ රටේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නෑ කියලා වගේ ප්‍රතිප්තියක හිටියා නම්, මේ වෙලාවේ රට භාරගන්න බෑ කියලා කිව්වා නම් අද මේ රටට මොකක් වෙලා තියේවිද?

හැමෝම පහුගිය කාලවල කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි.

ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව.

අන්න ඒ නිසයි මේ තිත්ත ඇත්ත තමුන්නාන්සෙලට කියන්න මං තීරණය කලේ.  

ඒකට ආයෙත් පක්ෂ දේශපාලන අවශ්‍ය වෙන්නේ නැහැ.

අපි මේ ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ.

ඌව වෙල්ලස්සේ රණකාමී වගේම රටට හිතකාමී ජනතාවක් ඉන්න පලාතක්  ඌව වෙල්ලස්ස සටන ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ඔබේ ජාන රටට හිතකාමී. ජාන රට උවදුරුවලින් ගලවන්න පෙරට ආ ජාන.

අන්න ඒ ඔබට මං මෙහෙම කියනවා.

අහසින් වැටුනු වැහි බිදුවත් සංරක්ෂණය කරලා ඉතිරි කරපු ජාතියක් අපි, වැලි වල දෙහි ඔබලා කල්තියාගන්න තරම් සකසුරුවම ප්‍රතිපදාවෙන් උරුම කරගත් ජාතියක් අපි.

ගස් යට වැටෙන කොස් ඇටේ පවා වැලිකොස්ඇට දාපු ජාතියක්.

අටුකොස් දාපු ජාතියක්, ළුණුදෙහි හදාගෙන දෙහි කල්තියාගත්ත ජාතියක්.

උයන්න ගන්න හාල් හුන්ඩුවෙනුත් අහුරක් අරන් තියපු ජාතියක් අපි.

එහෙම සකසුරුවමක් තිබුණු සොබා දහමෙන් ලැබෙන දේ පවා ඉතිරි කරපු අපිට මොකද මේ වුනේ...?

උනේ අපේ දේ පැත්තක තියලා, අනුන්ගේ දේශපාලන වාසි කතා වලට රැවටුනු එකයි.

මගෙන් පටන් ගන්නේ නැතිව ආඩි හත්දෙනාගේ කැද හැලියේ විදියට ජීවත් වෙන්න හදපු එකයි තමයි.

ඔබ පටන් ගන්න කවුරුවත් ඇවිත් ඔබට මාලිගා හදලා දෙන්නේ නැහැ. 

ඇයි ජයගමු කියලා කියන්නේ. ජයගමු කියන්නේ අපි පැරදිලා තියෙන නිසා, කොහොමද අපි පැරදුනේ?

හදෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා කිව්වම පෝලිම්වල ගිහින් ඡන්දේ දෙන තැන ඉදලම අපි පැරදුනා.

වැඩ වර්ජන කරලා, සිංගප්පූරුවට වරායක් හදලා දුන්න මෝඩ වීරත්වයකින් අපි පැරදුනා.

අපි හිතුවේ වරජනය තමයි වැඩේ කියලා.

හැබැයි දැනගෙන හිටියේ නැහැ, රටක තීන්දු තීරණ ගන්නකොට අවට කලාපයත් නිරීක්ෂණය කරලා තීන්දු තීරණ ගන්න ඕන කියලා.

කොළඹ වරායේ වර්ජන සිංගප්පූරුවට වරාය හදලා දීමෙන් ඒක මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුලුවන්.

රටේ බදු අඩු කරනකොට උඩ පැනගෙන ගිහින් ඡන්දය දෙන තැනට වැටෙනකම්ම අපි පැරදිලා.

තමන්ට ජීවත්වෙන්න හැකියාවක් තියෙද්දීත්, සහනාධාර වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණ ගන්න තරමට පැරදිලා.

ඔය නිකම් දුන්නේ අද රටේ ඉන්න පුංචි දරුවාත් ණයකාරයින් කරලයි.

නැතිව කාගේවත් ගෙවල් වලින් ගෙනල්ලා නෙමෙයි. 

රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකොට, එකතුවෙලා රට ගොඩ නගන්න උදව් වෙන එක වෙනුවට රට දාලා දුවන තරමට පැරදිලා.

පෞරෂයක් නැති තැනටම පැරදිලා.

ඇයි මෙහෙම පැරදුනේ, ජනතාව දේශපාලඥයාගෙන් බලාපොරොත්තු වුනේ තමන් වෙනුවෙන් තීන්දු තීරණ, ප්‍රතිපත්ති ගැනීම නෙමෙයි.

පාරට තාර දාගන්න, කොල්ලට රස්සාවක් අරගන්න එක, පොලීසියට කෝල් කරවාගන්න එක, මේවා තමයි ජනතාව බලාපොරොත්තු වුනේ.

දේශපාලඥයා බලාපොරොත්තු වුනෙත් ඕකේ අනික් පැත්ත.

ඒගොල්ලෝ ජනතාව සතුටු කරන්න තීන්දු තීරණ ගත්තා.

දැන් පාර්ශව දෙකම සමබරයි.

කාටවත් කිසිම අයෙක්ට චෝදනා කරන්න බෑ.

මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකම්ම  සිස්ටම් චේන්ජ් එකක් කරන්න මේ රටේ කවුරුවත් හිටියේ නෑ.

ඒකෙත් හැටි බලන්නකෝ, කඩාගෙන වැටෙනකොට නෙමෙයි, කඩාගෙන වැටුනට පස්සේ තමයි මේ අය සිස්ටම් චේන්ජ් කරන්න බැස්සේ.

අන්න ඒ වෙලාවේ තමයි සිස්ටම් චේන්ජ් වෙනුවෙන් වැඩ කරපු රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකත්වයට රට භාරදෙන්න සිද්ධ වුනා.

තෙල් පෝලිම් නැති වුනා, ගෑස් පෝලිම් නැති වුනා.

බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන එක නැතිවුනා.

මූල්‍ය විනයක් ඇතිවුනා.

අවනීතිය රජ කරන්න ගියපු එක නැවතුනා.

එතුමා මේ ආර්ථික ව්‍යවසනයෙන් රට ගොඩගන්න අපිට දර්ශනයක් පෙන්නුවා.

මොකක්ද ඒ දර්ශනය, ඒ දර්ශනයට මමයි නම දුන්නේ.

ඒ නම තමයි මගෙන් පටන් ගමු කියලා ඔබ දකින්නේ.

තමන් පිරිහුනොත් සමාජයත් පිරිහෙනවා.

සමාජයක් පිරිහුනොත් රටත් පිරිහෙනවා.

රටක සමබරතාවය ඇතිකරන්නේ, රටක් සාමකාමීව පවත්වාගෙන යන්නේ රටේ ආර්ථිකය.

ඒකට උදාහරණ හොයන්න ඈතට යන්න ඕන නෑ.

පහුගිය කාලයේ දී සිදුවන දේවල් දිහා බලන්න.

එයින් ඕනෑ තරම් උදාහරණ ගන්න පුලුවන්.

රටක සාමකාමීබව ඇති කරන්න ආගමකට පමණක් බැහැ.

ඒකට ආර්ථිකයත් අත්‍යවශ්‍යයි.

ආර්ථික දියුණුවක් හැදෙන්න යහපත් ආකල්ප අත්‍යවශ්‍යයි.

ඉස්සර සිතියමක් තිබුණා, එක පැත්තක ලංකා සිතියමක් තියෙනවා.

අනික් පැත්තේ ඉන්නේ ළමයෙක්.

මේක ඉරලා අලවන්න දෙනවා.

කවදාවත් ලංකාව පැත්ත පෙරලාගෙන අලවන්න ගියොත් අලවන්න ලැබෙන්නේ නෑ.

හැබැයි අනික් පැත්තේ ඉන්න මනුස්සයා හරියට අලවාගත්තට පස්සේ ලංකා සිතියම සම්පූර්ණයි.

අන්න ඒක අපිට කියනවා, තමන් හැදුනොත් රට නිකම්ම හැදෙනවා.

මේ සිතියමේ කතාවෙන් කියවෙන්නේත් ජනාධිපතිතුමාගේ මගෙන් පටන් ගමු සංකල්පයේ කතාවම තමයි.

එතමා මේ රටට නායකතවය දීලා එතුමාගෙන් පටන් ගත්තා.

හොරු අල්ලන්න කලින්, හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් හැදුවා.

මේ රටේ නිවරදි මූල්‍ය ක්‍රමයක්, බදු ක්‍රමයක් හැදුවා.

සහනාධාර ලැබිය යුතු ජනතාවට නිවරදි වටිනාකමක් ලැබෙන ක්‍රමයක් හැදුවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුම රටවල් ගානේ ගිහින් රට වෙනුවෙන් හිඟා කනාවා.

මොකද එතුමා එතුමාගෙන් පටන් ගත්තා ඒ වගේම අපිත් අපෙන් පටන් ගත්තා. 

මට ජනප්‍රියම කථිකයෙක් විදියට බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ගේ මිනී කරේ තියාගෙන, ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ගහ මරාගන්න මිනිස්සුන්ගේ මිනී කර ගහගෙන, දැන් මට බනින හැමෝගෙම ආදරය දිනාගෙන තරුවක් වෙලා ඉන්න තිබුණා.

මම එහෙම හිටියේ නෑ.

මමත් මගෙන් පටන් ගත්තා.

මොකද අපි අහසින් දේශපාලනයට පහත් වුනේ නෑ.

අපි පොලොවෙන් දේශපාලන කරගෙන ආපු මිනිස්සු.

අපි මුලින්ම විදේශ ගත ශ්‍රමිකයා බැංකු පද්ධතිය හරහා, නීත්‍යානුකූලව මුදල් ටික රටට ගෙන්වාගන්න ක්‍රමය හැදුවා.

මේක හැදුවේ කොහොමද?

මේ ඇත්ත කතාව අපි විදේශ ගත ශ්‍රමිකයාට කිව්වා.

බොහෝ අයගේ ඔලුවේ හදලා තිබුණ, රටට එන ඩොලර් දේශපාලඥයාට මංකොල්ල කන්න පුලුවන්ය කියන මිත්‍යාව බොරුවක් කියලා පෙන්නලා දුන්නා.

ඒ විතරක් නෙමෙයි ඒ අයට ගෟරවය ලබාදුන්නා.

අපි හෝප් ගේට් කියලා ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින්ට වෙනම දොරටුවක් විවෘත කළා.

රටට ඩොලර් එවන විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාදුන්නා.

මනුසවි නිවාස යෝජනා කමය ක්‍රියාත්මක කළා.

විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වලා දුන්නා.

මුල් වරට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන කාන්තා ශ්‍රමිකයින්ගේ පවුල්වලට වවුචර ලබාදීමට කටයුතු කළා.

ඒ වගේම මේ අවුරුද්ද ව්‍යවසායකත්වය නගා සිටුවීමේ වසර විදියට නම් කරලා විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රමිකයා ව්‍යවසායකයෙක් විදියට නගා සිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කළා.

ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට අවශ්‍ය තීන්දු ගත්තා.

ඒත් සමහර ගතානුගතික රාජ්‍ය ආයතනවල ඉන්න, වෙනස් වෙන්න බැරි ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා.

ඒත් අපි අතෑරියේ නැහැ.

අපි දැන් ආකල්පමය වෙනස ඇති කළ යුතුයි කියලා අපි තීරණය කළා. 

එදා රට රණවිරුවන් රට බේරගත්තා වගේ අද තියෙන ආර්ථික ආර්බුදයෙන් රට බේරාගත්තේ රට විරුවන්.

ඒ නිසා අපි රට විරුවන් වෙනුවෙන් කළයුතු සියලුම දේ කරනවා.